Thursday, August 21, 2014

මගේ කවි පොත....


-

මට මෙහෙම හොඳයි...
ආලවකයෙක් වීම ඊටත් හොඳයි....!!
සුරංගනා හීන අතහැරලා,මල් උයන් අතහැරලා
මම බුදු උනා,මම නිවන් දැක්කා කියන
දහසක් සුදු පිරුවට අතර මම ආලවකයෙක් වෙනවා
ඒක මට හොඳයි...!!
ඒක මට සතුටුයි...!!
ආලවක ආලිංගන
කඩුල්ල ප්‍රකාශනයක්

Monday, August 11, 2014

ආළවක ආලිංගන

 හුස්මක් කටක් ගන්නට ඉඩක් නොතබාම මද වේලාවක් නිලයක් අල්ලා සිටි හිමි නම ජයසිරි පසු පසට විසිවී යන ලෙස තල්ලු කර දැමීය, උන් හිටි තැන් අමතකව ගිය ජයසිරි දාන ශාලා දොරකඩම පතබෑවේ මරු විලල්ලෙන් ඒ මිහියන් දෙස ඔරවමින් බලමිනි,

පර බල්ලා, උඹ ආයෙ පංසල් වත්තෙ සතා සීපාවට ගිණි බින්දොත් මං තෝව තියන්නෑ‘
ධම්මරක්ඛිත හිමියන් ගුගලේය,

ජයසිරි බිම බලාගත්තේ ජීවිත කාලයක් පුරා රැකගත් ගාම්බීරත්වයද නොසලකමිනි, නැවත මහාමේරුවක්ව නැගීසිට ,නාලාගරියා මෙන් ඒ හිමි පාමුල වැද වැටිණි, අපේ හාංදුරුවනේ සමාව අවසර .මින් පස්සෙ එහෙම අකටයුත්තක් වෙන්නෑ,

ජයසිරි එය කීවේ ඇසෙන නෑසෙන හඬිනි..

මේ පවු වැඩ අතහැරලා හොඳ මිණිහෙක් වෙයං කාළකණ්නියෝ‘යි කියමින් හිමියන් නැවත ගුගුලේය, එවක් නම් ආළවකයාගේ ඉවසුම සිඳිණි,

මං දැං කිව්වා එහෙම වෙන්නෑ කියලා,තොපේ කං ඇහෙන්නැද්ද යකෝ, පිං බත් ගිල ගිල ඉඳලා මුංලා දන්නෙ කෝමද මෙව්වෑ හැටි, යකෝ මයෙ දරුවන්ට බොලාලට වගේ පිං බත් ලැබෙන්නෑ බොලව්,

ජයසිරි එසේ ගුගුරා නැවත හඬ අඩුකර නිවුනු ස්වාභාවයක් පෙන්වීය,

අපේ හාමුදුරුවනේ ඔය සිවුරු අස්සෙ ඉන්න සුගතෙව අහවල් එකෙන් උස්සලා මං පොළවේ ගැහුවා කියලා හිතං මට මයේ පාඩුවේ ඉන්න දෙනවා හොඳයි,

ජයසිරි එසේ කීවේත් දැඩි නිවුනු සෙයකිනි, ජයසිරිගේ හැටි කුඩාකල සිටම දන්නා හඳුනන ධම්මරක්ඛිත මිහියන් පසු බැස ගියේ ජයසිරියා හා භජනය එතරම්ම යහපත් නොවන බව හැගුණු හෙයිනි,

කහපෙතිය ආරච්චි බණ්ඩාරලාගේ පරපුරේ එකෙකු බව කියන ජයසිරියා එදා සිට ආලවකයා විය, මැණික් බන්ඩාර කුමරියගේ ඉකිබිඳුම අදටත් ඇසෙන දුංහිඳ මාණයේ ආළවකයා භවන සාදා නොදන්නා කොහේදෝ ගං පලාතකින් ගෙනා කුමාරිකාවක් හා විසී ය,

ඈ නන්දාය, ඇන්දාය නොඇන්දාය ,කෑවාය බිව්වාය ,වින්දාය, නොවින්දාය කියා වෙනසක් නැතුවම ආලවකයාට පෙම් බැඳි ඈ නන්දාය, නෑ බෑ නොකියාම ආලවක පරපුර ගෙනයන්නට දරු සිව්දෙනෙකු වැදූ ඈ නන්දාය,පන්සල් නොයන,මුත් පවු නොකරන නන්දාය, පල බැල්ලි එලියට කී විට එළියට යන, වර ඇතුලට‘ය කී විට යලිත් ඇතුලට එන, දේහධාරී ආලවකයාගේ ඇඹේනිය ඈ නන්දාය, ගංජා ගසක මුල් කොල,අතු ඉති,ඇට,උරා පදමට විත් පහුරු ගෑ ආත්මයක් සහිතව කොන්දේසි විරහිතව ආලවකයා හා සැතපෙන ඈ නන්දාය, ආලවකයාගේ අණට කීකරුව, මේ තලගොයා ය,මේ ඌරාය,මේ මීමින්නාය, මේ ගෝණාය කියා වෙනසක් නැතුවම උයා පිහා දෙන ඈ නන්දා ය,

මහ තලා ඝන කෙසින් සැදුම් ලත් පපුවත හිස තබා ඈ ආදරය සෙව්වා ය, ආලවකයාට ආදරය දනවන්නට දුක් වින්දාය. ඈ නොහැඬුවා ය, ආලවකයා මත්තේම ඉවසුවාය, රැවුම් ගෙරවුම් බැනුම්,සීරීම් පොළවේ ගැසීම් වලට හුරුව ඈ උපේක්ශාවෙන් ජීවිතය වින්දා ය,

එකෙකු පෙකෙණි වැල කඩාගත් වහාම අනෙකා කුසට ආ හ, ඈ නෑ බෑ නොකියාම දිව්‍ය විමණට යන්නට පඩිපෙළක් තනන්නාසේම දරුවන් වැදීය. හැකි ලෙස පෝශණය කලේ ය,

ආලවක භවනේ අගමෙහෙසිය වන්නට ඈට ඊට වඩා සුදුසුකම් අනවශ්‍ය විය, ඈ ඒ සියලුම සුදුසුකම් සපුරා එහිම විය, වෙන් නොවීය,

දුංහිඳ ,බදුලු ඔය,නමුනුකුල,ආළවකයාට ඇති පදන් දඩයම් දුන්නේ  නන්දා ගැන සිතා විය යුතුය,බෝර තුවක්කුවත් කාල වර්ණ සිරුරත්, සිරුර පුරා වැසී ගත් ඝන කෙහෙත්,අව පැහැ තරමක් විශාල අපිලිවලකට පිහිටි දතුත් ආලවකයාට යක්ශ පෙනුමක් ආරූඩ කිරීමට සමත් විය, මහා ඌරු තඩියෙකු කරේ තබා එන විට සමහර ගැමියෝ ආළවකයාට විහිලු තහළු කරයි..

“ආලවකයා කවුද ඌරා කවුද හඳුනන්න බැහැ බොලව්“

ගැමියන් එසේ කී විට ආළවකයා වීරයෙකු මෙන් සිනාසෙයි,නැතිනම් කුමක් හෝ කුණුහරපයක් දොඩයි,

ආළවකයාගේ දඩයමේ පළමු කොටස ,දැඩි භක්තියකින් පූජාවක් කරන කට්ටඩියෙකු සේ හේරත් මුදලාලි වෙත ගෙන යයි. ඔහුගේ මුලුතැනටම ගොස් එය තබා කැහැපට ගැන්වූ සරම පාත් කොට.අව පැහැ දත් පෙන්වා මුදලාලිගේ ජනේළයට සිනාසෙයි, පොල් ගෙඩි කිහිපයක්, හාල් තුනපහ,තෙල් ඊට පිලිතුරක් ලෙස ලැබෙයි. මුදලාලිගේ කඩුල්ල පනිත්ම, ගංජා සුරුට්ටුව දල්වා සරම කැහැපොට ගන්වා, බඩු මල්ල කර පින්නා උජාරුවෙන් නමුනුකුළ නගියි,

ආලවකයාට දරුවන් සමඟ ගනුදෙනුවක් නැත, කන්නට තුන්වේල අඩුවක් නැතුව දුන්නද ඉන් එහා කිසිදු සම්බන්ධයක් ඔහු අපේක්ශා නොකරයි,, ඔහු මූනිච්චාවට දරුවන්ද අපමණ බියක් දක්වයි, කඩුල්ල පණින හඬ ඇසූ පමණම දරුවන් එක්කෝ නින්දේය, නැතිනම් හාවක් හූවක් නොමැතිව අහුමුලු වලය,

නන්දා මෙහෙ වරෙං,

කද මලු බිමලා ආලවකයා ගුගුලේ කුමකටදැයි නන්දා ඉවෙන් මෙන් දනී, නන්දා නොගියා ය,

මෙහෙ වරෙං යකෝ,

ආළවකයා නැවතත් ගුගුලේය.

නන්දා සෙමෙන් බිම බලාගත්වනම ආළවකයා වෙත ඇදුනි,

තොට දැන් මං වඳින්ට වෙලානේ බං මගේ ලඟට ගෙන්න ගන්න, ආළවකයා කීවේ ගොදුරක් දැක කෙළ හළන මෘගයෙකු පරිද්දෙනි..

දරුවෝ ඇහැරලා, උන් දකියි

නන්දා කීවේ එපමණකි,ආළවකයා කිපුනේය,

දාපං ගිහින් තොගේ බලු රැළ දුංහිඳෙන් පහලට,කාළකන්නි හැත්ත..මොකද මුං අපි පඬුරු පාක්කඩ බැඳලා ගෙන්න ගත්ත එවුන් යෑ..තෝ මෙන්න මෙහෙ වරෙං,ගලවලා දාපං ඔය චීත්තෙ‘යැ කියමින් ආලවකයා නන්දාව තමා වෙතට ඇද ගන්නා ක්ශනයකින්ම ඈ ඔහු වෙතින් මිදිනි,

යකෝ තිරිසනෙක්ට උනත් චාරයක් තියනවා, මේ මිනිහට එහෙමවත් චාරයක් නැහැ, මගේ කාළකන්නි කම, මගේ පව,

නන්දා පළමු වර කෝපාවිශ්ඨ විය,  දිවියේ පළමු වර ඈ ආළවකයාට අවනත නොවුනා ය. දිවියේ පළමු වර ඈ ස්වාධීන වූවාය, එය ඈ හටම දරාගත නොහැකි විය,නමුදු ඈ දරුවන් වෙනුවෙන් පෙනී සිටියා ය,

උඹට පුලුවන් සතෙක් වගේ බඩ උඩ ලැගලා ළමයි හදන්න විතරයි, උන් ටිකත් උඹ වගේ සතෙක් කලාම උඹට නින්ද යයි, නන්දා නොනැවතීම කෑ ගැසීය,

ආළවකයා මීයට පිම්බා සේය, හාවක් හූවක් නැතුවම බලා සිටී,වික්ශිප්ත වී සිටී, නන්දා බැරැන්ඬි උගුරෙන් තව තව දේ පවසයි, මහ හඬින් කෑ මොර දෙයි, ආලවකයා සිටි ඇලයෙන්ම මුව අයා සිටී, ඇගේ ගෙරවුම අවසානයේ වලස් හිසක් සවි කර නැවත නැගී සිටි මහසෝනාසේද, කිපුණු නාළාගිරියා සේද හැරුණු හැරැණු අතට පහර දෙන්නට විය, නන්දා පහර දීම් ඉවසුවා ය. ඇයට ආළවකයා හා හැරිය නොහැක, බිම දමා යටි බඩ පාගා, ඒ මත නැග අනෙක් කකුළ බෙල්ලට තැබීය, ඒ නන්දාගේ අවසානය යැයි ආළවකයා සිතීය, කොහේදෝ සිට ආ ආළවකයාගේ ලොකු කොල්ලා ආළවකයාගේ ඇඟට පැන්නේ ඇසිල්ලකිනි, ආලවකයාගේ සමබරතාවය ගිලිහිනි .නැවත ඌ ඔසවා පැත්තකට විසි කර   නන්දා වෙතට පනිද්දී ඈ යලි නැගී සිට අවසන්ය,

උඹ මට ගහපං,මේ අත දරුවොන්ට අත උස්සනවා නෙමෙයි, නන්දා නැවත ගගුගුලේය, එහෙ මෙහේ අත ගා සොයා ගත් මුවහත් පිරිය අමෝරා ඈ දරුවන්ගේ විමුක්තිය පිණිසම සටනට සැරසි බවක් පෙන්වීය, ආලවකයා දැමුනේය,ගෙයින් එළියට පැන්නේය,

මං ආයෙ එන වෙලාවට උඹලා මෙතන ඉන්න බැහැ,එක්කෝ උඹලා එක්කෝ මම,

ඒ ආලවකයාගේ අවසන් නියෝගය බව නන්දා දන්නීය,ඈ ජීවිතයේ හැරවුම් ලක්ශය සොයා යන්නට තීරණය කලාය,
අම්මෙක් අප්පෙක් නෑයෙක් නැති නන්දා සිව් දරු වඩා බදුලු ඔයේ ඉහලටම වග වලස් මෘග හඩ අතර ඇදිනි, සිහියත් අව සිහියත් අතර ඈ මාරුවෙන් මාරුවට දරුවන් වඩා ඒ ගිරි ශිකරයේ මුදුනතම සෙවීය, නීරස ජීවිතයේ ඇති අවසන් අමෘතය සොයා යන මුවැත්තියක් සේ ඈ අවසන හැරවුම් ලක්ශය සොයා ගත්තා ය, ඒ දුංහිඳ පහතට වැටෙන තැනය, ඒ දුංහිඳ සමුදුර සොයා යන්නට පිම්මේ පහතට වැටෙන තැනය, ඈ සිව් දරුවන් සමඟ දුංහිඳෙන් පහතට ජීවිතය මුදා හැරියා ය, ගල් පරවල හැපෙමින් පහතට වැටෙද්දීත් ඈ දරුවන් අත නොහැරියා ය.අවසන දුංහිඳ පාමුල සුන් වී ගිය සිරුරු වලින් යුතුව විමුක්තිය ලැබුවෝ ය,

මේ බැව් නොදත් ආළවකයා මැදියමද පසුවී නිවසට ආවේ දැඩි කලකිරීමෙනි, නන්දා, නන්දා යැයි කිහිප වරක්ම අඬ ගැසූ මුත් පිලිතුරක් නැත, ගේ පුරා එහෙ මෙහේ ගිය මුත් ඈ හෝ දරුවන් නොමැති බව දුටු ආලවකයා හැල්මේ ගල් තලාව බැස දන්නා කියන නිවෙස් වල ඈ සිටීදැයි විපරම් කලත් තොරතුරක් නොවීය.

ආලවකයා පන්සලට ගොඩ විය,

හාමුදුරුවනේ නන්දයි දරුවොයි පන්සලට ආවැයි‘ විමසීය

මේක අම්බලමක් කියලා හිතුවද බොලව් මේක අස්සෙ මේ දෙගොඩහරිජාමෙ ගෑණු ,ළමයි දාගෙන ඉන්න..

හාමුදුරුවන්ගේ වදන් හමුවේ ආළවකයා කිසිත් නොකියාම පසු බැස්සේ යම් අසරණ බවකිනි,

ඔහොම හිටපං...හිමියන් නැවත කීය..ආලවකයා හිටිවනම නැවතිනි,

දැං උඹේ ගෑනියි දරුවොයි කොහේ මකබෑවිලාද උඹ මේ රෑ දොගොඩහරිජාමෙ ගම වටේ ඇවිදින්නේ..

ගෑණි දරැවොත් අරන් ගෙදරින් ගිහින් අපේ හුමුදුරුවනේ..

හිමියන්ගේ පැනයට ආලවකයා පිලිතුරු දුන් නිවුණු බැවින්ම කුමක් හෝ සිදුව ඇති බව වැටහුණු හිමියන් ඝාන්ඨාරය නාදකොට ගැමියන් ගෙන්වා මූකලාන පීරා සෙවූ නමුත් නන්දාත් දරුවනුත් හමු නොවිණි,

නන්දාට යන්නට තැනක් නැත, නෑයෙක්ද නැත, ඈ ගියානම් යා යුතුව ඇති එකම තැන ආළවකයා හරියටම හැඳින ගත්තේ ඉවෙනි,

අපේ හාමුදුරුවනේ නන්දා යන්නැත්තේ දුංහිඳ පල්ලට, ආළවකයා කෙඳිරීය..

හුලු අතු රැගත් ගැමියෝ සැනෙන් දුංහිඳ පාමුලට ආ හ, යාන්තම් උදා හිරු නමුණුකුලෙන් පහත බලදිදී වෙනදාට කිරි පැහැ දුංහිඳ රත් පැහැ ගැන්වී තිබිණි,
හිමියන් කිසිවක් අදහා ගනු නොහැකිව ගල් තලාවේම හිඳ ගති, සී සීකඩව විසිරුණු මළ සිරුරු ඉවුරුවල එහෙ මෙහේ හැපෙමින් තිබෙනු දුටු ආළවකයා කිසිවක් නොකියාම ආපසු හැරිණි, කිසිවෙකුගේ අවධානයක් නොලබාම ආලවකයා දුංහිඳ මුදුනටම සිතිවිලි මරා දැමුවෙකු මෙන් ඇදිනි,

මං උඹේ දරුවන්ට අත තිබ්බෙ නැහැ යක්ශනියේ..උඔයි උංව මරලා දැම්මේ, ආයෙ වරෙං නන්දා මයේ ගෙට..මට උඔ නැතුව බැහැ බං, ඔය කටු ගැහිච්ච සරීර කූඩුවෙං විතරයි බොල මං සැනසුනේ

එසේ කියා දුංහිඳට හිස පාත් කර පය බුරුල් කරනා ලදින් ඒ ඉරියව්වෙන්ම දිය දෙබෑකර ගල් තලාව මතට වැටෙද්දී  “නන්දා බැහැපං එළියට-නන්දා වරෙන් ගෙට“යි ගුගුලේය, ඒ හඬ නමුනුකුලේ දෝංකාරදී ආලවකයාගේ අවසන් සුසුම සමග බදුලු ඔයේ සැඟවී ගියේ සැනෙනි..!!