Wednesday, April 8, 2015

මාමා වැටුණු ගල

බෝර ගුලට වෙඩි බැන්දත් කිටි කිටියේ
නූල අමුන පය වාරුව ගෙන කඹයේ
පහල බහින විට මහ ගල මැද හරියේ
සක්ක අතක් මැව්වා ගල හිටි හැටියේ

ලෝබ නැතුව ගල පහතට කිඳී යා
හීන වැලට කලු ගල් කැට කැඩී යා
දෝස නැතා තුන් වේලම කැවී යා
දෝත නඟා ගල් පොත්තට වැඳී යා

කැඩෙන විටක කළු ගල කුළු පහර වැදී
කෙඳිරි නැතේ හිත හයියට තියා සැදී
ගෙදර එවුන්ගේ කඳුලැලි අතර සැදී
ගලට හිතක් ඇත! එනිසා එහෙම හිදී

සක්ක,තුන් කාල් ගෙන යන සේවෙක
වගක් අසන්නේ නැත ගල කිසි කාලෙක
පාරට ,අලුත් ඉස්කෝලෙටද දායක
කළු ගලය කලෙක හිටි දෙවි අයියනායක ..

මමා වැටුනු තැන හෑරී පොලෝ යට
තෙත් කළු ගලක් විනි එ් කඳුලු බෝ විට
කුරුවිට කන්ද මහ කළු ගලැති යාය ට
අදටත් ඉර හඳේ රැස් වැටෙන්නේ බාගෙට


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

සත්වසරකට පෙර මිත්තනියට අයත් ඉපැරණි නිවස කඩා ඉවත්කරන ලදි



ලැහැබක් ය ,කටු ඉපල් අත් දෙපා වැනි වැනී
උළු ගේකි මල් ගසක් මිදුලකට ආ ___හැකී
සඳ උනත් පරිස්සම් ගමන් යන __පෙදෙසකී
ඒ හඬින් මල් පහන් පැලට දෙවි ආ ___හැකී

කෘශ තනය,ගල් බිත්ති අතරකින් එබි _එබී
කිරි ඉසී බෝධියට ඈ නමින් පින් ___පැතී
කිම තවත් නැත පමා දෙව් ලොවට පා තැබී
ඇස් වහන් පහන් දළු අතර හිඳ තනි __රකී

පිරිතක් ය, දෙවොලක් ය, දුක ද සතුටද පැතූ
මහළු දෙවියන් දෙවොල අතැර දැන් යා යුතූ
පරව ගිය මල් පෙති ය පුදසුනට තනි __රැකූ
අඳුරු නැත තරු ඇහැක් ,සඳක් එහි එලි සැදූ

බොල් කබොක, තැනින් තැන අතැර ඇඟලුම් බිත්ති
වැහැර ගිය අත පයට කොහි වාරු සිට _____ඉස්සි
පෙඟුණු, වේලුණ තැනෙකි පරාලෙක මැදි __වෙච්චි
කැණිමඩල නැත තවත් කුරුපා ය , බොඳ __වෙච්චි,

අත වැනූ ජනේල ය, ඵල බරැති __උයනකට
පිටුපා ය, නැගිලා ය, වැට කඩොලු මහ උසට
තවම වැහැරී නොගිය කොස් කඳන් උළුවස්ස
මතක දොර හරිනවා සංසාරෙ_____පුරුද්දට

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

අරප්පලකන්ද වතුයායේ තංගා නම් ලා බාල කිරි කපන්නිය..

එකම කැපුමක්වත් නොවන
නැත එකදු කිරි ගසක්වත්
අරප්පල කන්ද වතුයායෙ
පහත බෑවුම් වලත් හිටගත්...

පොත්තෙන් පොත්ත දන් දෙත්
කිරි පිහියකට ඇඟ මස්
සතුටින් වෙසෙන සම සෙස්
බලපන් ඉහල කිරි ගස්..

තංගා අතන කොවිල
එතනින් පහත පන්සල
බෝ ගහ ලඟම නැවතුම
වැන්දේ රබර් ගහකට...

ගසෙන් ගස මුල කරක් ගැසුවත්
නැතේ ලැයිමට එයින් එළියක්
ඇගේ කඳුලට කටස් ගාලා
අදත් පුපුරයි රබර් ඇටයක්

පිපිර විසිරුණු රබර් ඇටයක්
වගක් නැතුවම කැපුම් කිසිවක්
හොරෙන් ලියලයි තවත් දල්ලක්
ඉරෙන් ලැබුනා ඊට පොහොරක්

ඇදෙන බව දැන දැනත් මග තොට
ඔට්ටපාළුව වගේ ජීවිත
රබර් පිහියට ඇඟේ කළුවර
තවත් ඔප ලයි දිදී මුවහත

තාම දහ අට උනත් තංගා
ගහේ කිරි ගැන දැනං උන්නා
කැහැටු පොත්තෙන් ලමැද හංගා
බාල්දියකට කිරිත් දුන්නා...!

සොහොන්පල්ලා..!



සොහොන්පල්ලාගේ කාර්‍යයත්,සොහොනේ වල් කැපීමත් ජීවනෝපාය කරගත්, අසූ වියට ආසන්න මුත් රැකියාව අතැර නොයන මහල්ලෙකි,

පාත් වී යලි යලිත් ඉස්සෙන
වරක් ගානේ කොඳු පෙලින්
ඇසෙන කිරි කිරි හඬින් පොළවත්
මෙලෙක් වෙයි තිබුනට හොඳින්..


කඳු ගැසී වන වැදී තිබුනත්
නැතේ ගානක් ඒ නමින්
සොහොන් පිටියේ හෑම මුල්ලම
ඔහුට ලෙංගතු එක හිතින්..

පෙලින් පෙළ කඳු ගැසී ඉස්සී
මිනී වල් කොඩි වැල් යටින්
ගතේ විරියද හිතේ විරියද
අසයි නෑසෙන ලෙස හෙමින්..

පරණ වලකට වැදුන සැනෙකින්
උදළු පාරක් මහ හඬින්
කැබැළි ඇට හිස් කබල් දෑතින්
අරන් වළලයි සීරුවෙන්,

මෙතැන මේ අය, මෙතැන කවුරුද
තවම මතකය පහසුවෙන්
මෙතැන මල් ගස යටය නිවහන
ඇයට සැදුනේ ඔහු අතින්

වයස හරි හැටි නිනවු නැති මුත්
සොහොන් පල්ලා දුටු මතින්
අසූ වැනි විය කඩුල්ලේ ඉම
ඇතැයි සිතුණිය පහසුවෙන්..

කලින් වග තුග නොකීවත් ඔහු
පැදුරු කඩමලු දුටු නිසා
ඇගේ තනියට සොහොන පාමුල
ඔහුත් නිදියයි රෑ පුරා..

ලබැඳි සොඳුරිය අතැර යනු බැරි
දුකින් වේලක් කා,නොකා
අදත් තරුණය මටත් වැඩියෙන්
සොහොන්පල්ලා පෙම නිසා....!!

නටු නොකී කවි



අතින් අත පේ වෙවී බෝධිය
ලඟදි මල් හිස වෙන් උනා
නටුව අතහැර පියුම විතරක්
පුදසුනක පූජා උනා...!


තවම බඩ වැල් නටු දිගේ දිය
මලට ආ වැඩි මඩ පෙරා
නමුදු කිසි දින දොසක් නොකියා
මලට සමුදෙයි අත වනා...!

වෙහෙර පාමුළ කසළ බඳුනක
නැවතුමකි අනියත නිසා
පුදසුනට යන පාර පෙන්වයි
මහනෙළට, නටු ඇස් වසා..!

තිබූ පුදසුන මතින් පරවී
කසල බඳුනට විසි උනා
කිසිත් නොඅසා මලේ කොපුලට
නටුව පිණි දිය වත් කලා..!


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න‍|පාට පහක්|2015

Monday, February 9, 2015



වෛශ්‍යාවකගේ පැතුම

ස්කෑන් නොකරමි
_____________
කාමරය කළුවරය නැත රෑට එළියක්ද
දහවලට පමණි ඉර රෑට එහි සළකුණුද
අඳුර විමනක්ය මුත් මොනර කොළ නෙක පැහැද
නෙලාගත හැක ලිහා උතුරු සළුවේ සුවඳ


ඉපිල්ලෙන කිරි නහර පුඩු අඟට එක් වේද
මත් නිශාචර උරණ විට නොවන් මුසු පෑද
ලේ උනත් උරා බොන රුදු පිසාචර නාද
හළු කරන් එය මතින් සාදමියි කොත් සෑද

තුන් මසකි නාඳුනන ගැබ් ගෙලේ මල් සුවඳ
පොහොර වතුරද දමා රකිමි කටු නටු පත්ද
රෑට සැතපෙන සයන පාන්දර කර ඉද්ද
බුදු නමට පුදන්නෙමි පාත් කර කොඳු මැද්ද

වෙදෑදුරු දෙන තුන්ඩු ගන්නවද තව නැද්ද
ඉදිරියට නෙරන කුස පේනවද තව නැද්ද
අතගාන විට සළෙලු නාබියද බඩ මැද්ද
දඟලන්න එපා ඉවසනව නම් හොඳ නැද්ද

වකුටු වී කුස තුලේ නිදන්නට ඉඩ මදිද
දරන බර විටින් විට නුඹත් උහුලන වරද
සමාවක් නැතත් වෙන කරන්නට දෙයක් වෙද
ඉවසපන් අහස් කුස නැගෙන්නට පුරා හඳ

ඟඟුලක් වෙයන් සැම පව් සිත් දිය කරපන්
අවියක් වෙයන් හැම කෙලෙසුන් නැති කරපන්
සුළඟක් වෙයන් හැම රොඩු කුණු විසි කරපන්
බිරිඳක් වෙයන් හෙට දවසට ඉර තනපන්

chaminda paradeep silva gunarathne |ආලවක ආලිංගන |ස්කෑන් නොකරමි |2004 09 22|

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

Saturday, February 7, 2015

මිනී කපන නිමලදාසගේ පනස් හය හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ෂණයට සුපුරුදු පරිදි නිමලදාස වෛද්‍ය වරයා හා මෝචරියට ඇතුලු විය....

මධු සමය දා ලිහූ සළු පිලි
එවක මතකය අදත් ගෙන
අනේ දොස්තර කමා කල මැන
මදක් දෑසම වසනු මැන...

ඇගේ සිරුරම වසා මතු කල
ප්‍රේමයක් ඇත පුරා මන
තවත් පිරිමියෙකුගේ ඇස් වල
ඇගේ සලකුණු ඕන නැත..!!

දොස්තරට ඇස් වැහෙන තැන්වල
පාත් වී නුඹේ සිරුර ලඟ
හොරෙන් බැලුවා ඉතිරි හුස්මක්
තියනවද ඔය පපුව මැද

කපා සිරුරම සොයා හේතුව
පිරිස්සද්දී හදවතේ
සිරව ලේ කැටි දෙකක් තිබුනා
දරුවො දෙන්නයි සිහි උනේ...

කවපු බත් පිඬ බඩ වැලක් මැද
නැවතිලා සුසුමකට වැද
අදත් දහවල ඉකි ගසා නුඔ
හඬපු තාලය හිතේ ඇත..

“වැදූ දූ පුත් නික්ම ගිය පසු
හැරදමා උන් උපන් රට
තාම සීසර් කරපු සලකුණු
තියනවා නුඹෙ බඩේ යට“

“කපන කොටනා තැනක් පාසා
යලිත් අතගා සුසුම් මැද
නුඔට නොරිදෙන මට රිදෙන තැන්
හුඟක් දැන් ජීවිතේ ඇත...“

ඉතින් යා යුතු මගක් වේ නම්
මදක් ඉවසමු කිව් බසින්..
මෙහෙම දවසක් හිතාගෙන නුඔ
ඉන්න තිබුනා එක ලෙසින්...!

chaminda pradeep silva gunarathne | පාට පහක් |2015-01-16


වට පිටාවේ වූ සියළුම මිත්‍ර ගස් කපා දැමීමෙන් පසු තනිවූ මහෝගනී ගස් යුවලකි, මහෝගනී ගස තම සොඳුරියට වටපිටාව පෙන්වමින් දුක් වී පතන පැතුමක් පහත දැක්වේ..!

අමුන අමුනා සුසුම් නළ රැළි
කලින් ඔය ලඟ හිටිය ගහකුයි
මිටක් වී විත් පොරෝ තලයක
දවට ගහ කඳ මුලින් කැපුවෙත්..


මහ ගහට බැණ ඵලෙන් විසිවී
ඔහේ උසගිය කොස් පැලේකුයි
තමන්ගේ මව ලෑලි කරනට
ඉරුම් මේසෙට ලෑලි දුන්නෙත්..

තටු ඇවිල්ලා හොර ඇටේකට
වැදූ ගහ තනි කලත් සදහට
එක ඇනේකට ඇමිනි තෙරපී
බෙල්ල දුන්නෙත් තනි ජනේලෙට..

බද්ධ වෛරෙන් හිටපු ඇවිලී
ගස් දෙකක් අතිනත වෙලා විත්
ඉරටු මිටියත් ,මිටත් වීලා
පත් වීම පෙර හිටිය මිදුලට...

ඉතින් සොඳුරිය ඇවිත් හෙට දින
සිටිය යුතු නම් වෙලී අතිනත
ගසක් වී නම් පැතිය යුතුමයි
ලෑලි වෙන්නට එකම දොරකට...

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න | පාට පහක් | ගසක පැතුම | 2015 01 26