Thursday, June 5, 2014

සල්ලි මිටි ගනන්.. නූතන ප්‍රබුද්ධ ගීතයේ අපූරු මග සලකුනක් නොවන්නේ ඇයි?

සල්ලි මිටි ගනන් අරගෙන ඒවා ටිං පිටිං
සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොළ වලින් සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං
ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ..!

බෙට් එක රුපියල් දාහයි -තෝමට සීයට විස්සයි
කොයි කාටත් නිතිය මේකයි...
කට් එක දෙන්නෙ එක්කෙනයි-රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුරකරයි...
හිප් එක දෙන්න ට්‍රයි කරයි-කොළ ටික දෙපැත්තට බෙදයි
කොයි කාගෙත් පපු දැන් ගැහෙයි...
සෙට් එක හුඟ දෙනෙක් වඳයි-සමහරු වටේටම නයයි
හයි ෆයි කම් එතන බාල්දුයි...

ඉල්ලුවා කලාබර හත-කරුමෙට පෙරලුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත...
ඇල්ලුවා පොරව හාරත-නියමෙට පෙරලිලා ඇත
සංතෝසයි දිනාපු පැත්ත
දන්නවා ගේමෙ වත ගොත-හරියට ජෙමා හිතනත
කවදාවත් පැදිලා නැත..
බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ඔය ගහන එවුන්ටයි හතේ හත...!

දශක පහක් නැග බැස යන තරු දාහක් අතර එක් තරුවක් තවමත් ප්‍රාසාංගික වේදිකාවේ අනසක තමා නතුවට ගෙන ඇත..ඒ සදාකාලික තරුව වෙන කෙනෙකු නොව නිහාල් නෙල්සන්ය...

‘‘මල්ලි එයාලා කියන ඒවා ප්‍රබුද්ධ නම් අපි කියන ඒවා සුප්‍රබුද්ධ“ වරෙක නිහාල් නෙල්සන් එසේ කියා තිබිනි, එය පරම සත්‍යයකි...‘සු“ ප්‍ර‘,තවත් උපසර්ග නොවන්නටම ඒ කථාවේ පිලිතුරු තිබිනි,

හ්මසිරි හල්පිටව,ජෝතිපාලව ප්‍රබුද්ධ නොකලේත්, නිහාල් නෙල්සන්ව, ඇන්ටන් ජෝන්ස්ව,  සීටී ලාව,එම් එස් ලාව ප්‍රබුද්ධ නොකලේත් ජනතාව නොව මාධ්‍ය විසිනි, මාධ්‍ය විසින් මරාදමන ඔවුන්ගේ ප්‍රබුද්ධත්වය නැවත නැවත ඉපදෙන්නේ නැනවත් අසන්නන් නිසාය, පත්තර පුංබන ප්‍රබුද්ධයන්ට අපිට අභියෝග කල නොහැක, සමහරු සුදු අඳින නිසාත්, සමහරු වයසක නිසාත්, සමහරු මළ නිසාත් ප්‍රබුද්ධ වෙයි, නමුදු මාධ්‍ය විසින් අමු අමුවේ මරා දමන/දැමෙන මේ අපේ කාලයේ පොළවේ පය ගැසූ ගායකයෝ ගීත අඹරේ තවත් සියවස් කිහිපයක් ජීවමානව දිදුලනු ඇත...


හේමසිරි හල්පිටයන්ගේ ගුනෙ අයියගෙ බජව් කාමරේ කරනම් ගැසූ නිහාල් නෙල්සන්ට සල්ලි මිටි ගනන් “ගේමක්“ නොවිනි, එහි පද මාලාව ගයන්නට හැකි තවත් අයෙක් වෙත්දැයි ගැටළුවකි...සල්ලි මිටි ගනන් ගීතයේ කොතැනක හෝ ආදේශක පද නැත, එය සාමාන්‍ය සූදු පොලක නූතන ව්‍යවහාරික පද වලින් පමණක් සමන්විතව ඇත,

සල්ලි මිටි ගනන් අරගෙන ඒවා ටිං පිටිං
සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොළ වලින් සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං
ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ..!

සූදු පිටියට එන්නේ හැංගුන සල්ලිය. ..සතෙන් සතේ ගෙදර මුල්ලක කැටයක හෝ එකතුවන්නේ සූදුවටය, එහෙව් සූදු කරු පිටියට යන්නේ “මචං සල්ලි නෑ“ කියමිනි, අනිත් පැත්තෙන් ලැබෙනා උත්තරය මචං ආස්ක්කිං හිටිං යන්නයි, එහි සූදුවෙහි වචනාර්ථය ඉල්ලන පැත්ත දිනුම් යන්නයි, අතිශය සුමට මාදූර්්‍යයක් ගොඩනැගීම වස් ගීත රචකයාට තම සිතැඟි සිතු ලෙස කල හැකිය, එය නිර්මාණයට ගැලපිය යුතුය. මේ ඉංග්‍රීසි යෙදුම කොතරම් අපූරුවට ගීතයට ගැලපෙනවාද...

ඊලඟට කියන්නේ ජෙමාගේ වරුණය,

පුල්ලි කොළ වලින් සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං
ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ..!

පුල්ලි කොල එනම් හොරට කොළ නැමිලි ජෙමා ලඟ නැත, කෙලින් වැඩ කරන කෙනෙකි ඔහු, මේ ගීතයේ මා කැමතිම කොටස යෙදෙන්නේ ඉන් පසුවය..
ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ..!

මෙහි ආසි හේරු පොරෝ බූරු යනු හුදෙක් කුට්ටමේ කොළම නොවේ..සමාජයේ විවිධ තරාතිරම් වල පිරිස් එම ස්ථානයේ සිටියි, මුදලාලිලා, දේශපාලකයන්, ධන කුවේරයන්ම පමණක් නොව, උනට “කඩේ“යන බූරුවන්ද එහි සිටිත්...!!


බෙට් එක රුපියල් දාහයි -තෝමට සීයට විස්සයි
කොයි කාටත් නිතිය මේකයි...
කට් එක දෙන්නෙ එක්කෙනයි-රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුරකරයි...
හිප් එක දෙන්න ට්‍රයි කරයි-කොළ ටික දෙපැත්තට බෙදයි
කොයි කාගෙත් පපු දැන් ගැහෙයි...
සෙට් එක හුඟ දෙනෙක් වඳයි-සමහරු වටේටම නයයි
හයි ෆයි කම් එතන බාල්දුයි...

සීයට විස්සකි ජෙමාගේ තෝම, එය කිසිවෙකුට වෙනස් නැත, මෙහි යෙදෙන තවත් එක් ව්‍යාංගයකි,“කට් එක දෙන්නෙ එක්කෙනයි-රවුමට ඔට්ටු පෝලිමයි“ මෙහි අපට නොකියන දේශපාලන කථාවක් ඇත, එය ඔබ තේරුම් ගත යුත්තකි, එකෙක් කපද්දි අනෙක් වටේ සිටින්නන් කරන්නේ කයිවාරු ගැසීමය, එය ආරක්ශාව පිනිස “කට් එක දෙන්නා“යොදා ගනී...

කාගේවත් ලොකු කම් “හයි ෆයි “කම් සුදුපොළට වැඩක් නැත, ඒවාට ජෙමා ඉඩදෙන්නේද නැත,සමහරි වඳය...මෙහි වඳ යන්නෙන් අදහස් කරන්නේ කුට්ටම අතට ගත්තොත් පරාදයියන්නයි, එහි සූදුවේ ආදීනවද පෙන්නයි,. ඒ..සමහරු වටේටම නයයි ලෙසටය,

 ඉල්ලුවා කලාබර හත-කරුමෙට පෙරලුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත...
ඇල්ලුවා පොරව හාරත-නියමෙට පෙරලිලා ඇත
සංතෝසයි දිනාපු පැත්ත
දන්නවා ගේමෙ වත ගොත-හරියට ජෙමා හිතනත
කවදාවත් පැදිලා නැත..
බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ඔය ගහන එවුන්ටයි හතේ හත...!

ඉල්ලූ පැත්ත දිනූ පසු සතුටකි, පරාජය අසතුටට හේතුවකි, එය කෙසේ නමුදු ජෙමා සතුටිනි, ඒ සෙල්ලමේ වත ගොත ජේමා හොඳින්ම දන්න නිසාය, බුරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත...කවුරු දිනුවත් ජේමාට සීයට විස්ස දිය යුතුය, කවුරු දිනුවත් කවුරු පරාජය උවත් ජේමාට ඇති පලක් නැත, ඔහු ඔහුගේ කුට්ටිය ලබයි, සෙල්ලම් කරන උන්ට වැලේ වැල් නැත,ජීවිතයක් නැත, ආත්මයක් නැත,..

පිටතින් පෙනෙන සූදුවේ කථාවත් ඇතුලතින් පෙනෙන දේශපාලන කතාවත් හැර සිතන්නට තවත් යමක් ඇත...ඒ බයිලාව ප්‍රබුද්ධ නොවන්නේ කෙසේද යන්නයි, ඉහත බයිලාවේ සක්ක පත, ඈදිලි, පිටතින් ආදේශනය කරන ලද ආදේශක, සමාන පද නැත, ඇත්තේ සාමාන‍්‍ය නූතන සූදු පොලක භාවිතා වන වචන මාලාවකි, එය ගීතයකට කවුරුනම් ගනීද? මේ් විවෘත අභියෝගයකි, ප්‍රබුද්ධ යැයි කියනා ඔබට මෙවැනි සක්ක පද නැති ගීතයක් ලිවිය හැකිද? මෙලෙස විචිත්‍රනයේ  එය යෙදවිය හැකිද?

එය නූතන ප්‍රබුද්ධ ලේබල් කරුවන්ට නොහැකිනම් මේ ගීත ප්‍රබුද්ධ නොවේ යැයි කීමට ඔවුන්ට ඇති අයිති කුමක්ද?

මුඩුක්කුව යනු උප සංස්කෘතියකි, එය විවිධ වචන නිර්මාණය කරන අපූරු තෝතැන්නකි, ගුනෙ අයියාගේ බජව් කාමරයත්, ජෙමාගේ සූදු පොලත්,සුද්දි අක්කාගේ කසිප්පු වාඩියත් ඒ උප සමාජයේ මූලික ලක්ශණ ඌ පලියටම ඒ හරහා බිහිවන නිර්මාණ කුණු ගොඩට දැමිය හැකිද?

නිහාල් නෙල්සන් ගැන කිව හැක්කේ ඔහුගේම වදනින් මෙපමනකි...


‘‘කොත නම් කොත කුරුසවලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගේත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත....‍‍‘‘

No comments:

Post a Comment

අදහසක් දැක්වීමට යොදවන්නේ ඔබේ කාලයයි,ඔබ ලියනා දේ හා එහි වටිනාකම ගැන පළමුව සිතන්න,...,