Wednesday, April 8, 2015

මාමා වැටුණු ගල

බෝර ගුලට වෙඩි බැන්දත් කිටි කිටියේ
නූල අමුන පය වාරුව ගෙන කඹයේ
පහල බහින විට මහ ගල මැද හරියේ
සක්ක අතක් මැව්වා ගල හිටි හැටියේ

ලෝබ නැතුව ගල පහතට කිඳී යා
හීන වැලට කලු ගල් කැට කැඩී යා
දෝස නැතා තුන් වේලම කැවී යා
දෝත නඟා ගල් පොත්තට වැඳී යා

කැඩෙන විටක කළු ගල කුළු පහර වැදී
කෙඳිරි නැතේ හිත හයියට තියා සැදී
ගෙදර එවුන්ගේ කඳුලැලි අතර සැදී
ගලට හිතක් ඇත! එනිසා එහෙම හිදී

සක්ක,තුන් කාල් ගෙන යන සේවෙක
වගක් අසන්නේ නැත ගල කිසි කාලෙක
පාරට ,අලුත් ඉස්කෝලෙටද දායක
කළු ගලය කලෙක හිටි දෙවි අයියනායක ..

මමා වැටුනු තැන හෑරී පොලෝ යට
තෙත් කළු ගලක් විනි එ් කඳුලු බෝ විට
කුරුවිට කන්ද මහ කළු ගලැති යාය ට
අදටත් ඉර හඳේ රැස් වැටෙන්නේ බාගෙට


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

සත්වසරකට පෙර මිත්තනියට අයත් ඉපැරණි නිවස කඩා ඉවත්කරන ලදි



ලැහැබක් ය ,කටු ඉපල් අත් දෙපා වැනි වැනී
උළු ගේකි මල් ගසක් මිදුලකට ආ ___හැකී
සඳ උනත් පරිස්සම් ගමන් යන __පෙදෙසකී
ඒ හඬින් මල් පහන් පැලට දෙවි ආ ___හැකී

කෘශ තනය,ගල් බිත්ති අතරකින් එබි _එබී
කිරි ඉසී බෝධියට ඈ නමින් පින් ___පැතී
කිම තවත් නැත පමා දෙව් ලොවට පා තැබී
ඇස් වහන් පහන් දළු අතර හිඳ තනි __රකී

පිරිතක් ය, දෙවොලක් ය, දුක ද සතුටද පැතූ
මහළු දෙවියන් දෙවොල අතැර දැන් යා යුතූ
පරව ගිය මල් පෙති ය පුදසුනට තනි __රැකූ
අඳුරු නැත තරු ඇහැක් ,සඳක් එහි එලි සැදූ

බොල් කබොක, තැනින් තැන අතැර ඇඟලුම් බිත්ති
වැහැර ගිය අත පයට කොහි වාරු සිට _____ඉස්සි
පෙඟුණු, වේලුණ තැනෙකි පරාලෙක මැදි __වෙච්චි
කැණිමඩල නැත තවත් කුරුපා ය , බොඳ __වෙච්චි,

අත වැනූ ජනේල ය, ඵල බරැති __උයනකට
පිටුපා ය, නැගිලා ය, වැට කඩොලු මහ උසට
තවම වැහැරී නොගිය කොස් කඳන් උළුවස්ස
මතක දොර හරිනවා සංසාරෙ_____පුරුද්දට

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

අරප්පලකන්ද වතුයායේ තංගා නම් ලා බාල කිරි කපන්නිය..

එකම කැපුමක්වත් නොවන
නැත එකදු කිරි ගසක්වත්
අරප්පල කන්ද වතුයායෙ
පහත බෑවුම් වලත් හිටගත්...

පොත්තෙන් පොත්ත දන් දෙත්
කිරි පිහියකට ඇඟ මස්
සතුටින් වෙසෙන සම සෙස්
බලපන් ඉහල කිරි ගස්..

තංගා අතන කොවිල
එතනින් පහත පන්සල
බෝ ගහ ලඟම නැවතුම
වැන්දේ රබර් ගහකට...

ගසෙන් ගස මුල කරක් ගැසුවත්
නැතේ ලැයිමට එයින් එළියක්
ඇගේ කඳුලට කටස් ගාලා
අදත් පුපුරයි රබර් ඇටයක්

පිපිර විසිරුණු රබර් ඇටයක්
වගක් නැතුවම කැපුම් කිසිවක්
හොරෙන් ලියලයි තවත් දල්ලක්
ඉරෙන් ලැබුනා ඊට පොහොරක්

ඇදෙන බව දැන දැනත් මග තොට
ඔට්ටපාළුව වගේ ජීවිත
රබර් පිහියට ඇඟේ කළුවර
තවත් ඔප ලයි දිදී මුවහත

තාම දහ අට උනත් තංගා
ගහේ කිරි ගැන දැනං උන්නා
කැහැටු පොත්තෙන් ලමැද හංගා
බාල්දියකට කිරිත් දුන්නා...!

සොහොන්පල්ලා..!



සොහොන්පල්ලාගේ කාර්‍යයත්,සොහොනේ වල් කැපීමත් ජීවනෝපාය කරගත්, අසූ වියට ආසන්න මුත් රැකියාව අතැර නොයන මහල්ලෙකි,

පාත් වී යලි යලිත් ඉස්සෙන
වරක් ගානේ කොඳු පෙලින්
ඇසෙන කිරි කිරි හඬින් පොළවත්
මෙලෙක් වෙයි තිබුනට හොඳින්..


කඳු ගැසී වන වැදී තිබුනත්
නැතේ ගානක් ඒ නමින්
සොහොන් පිටියේ හෑම මුල්ලම
ඔහුට ලෙංගතු එක හිතින්..

පෙලින් පෙළ කඳු ගැසී ඉස්සී
මිනී වල් කොඩි වැල් යටින්
ගතේ විරියද හිතේ විරියද
අසයි නෑසෙන ලෙස හෙමින්..

පරණ වලකට වැදුන සැනෙකින්
උදළු පාරක් මහ හඬින්
කැබැළි ඇට හිස් කබල් දෑතින්
අරන් වළලයි සීරුවෙන්,

මෙතැන මේ අය, මෙතැන කවුරුද
තවම මතකය පහසුවෙන්
මෙතැන මල් ගස යටය නිවහන
ඇයට සැදුනේ ඔහු අතින්

වයස හරි හැටි නිනවු නැති මුත්
සොහොන් පල්ලා දුටු මතින්
අසූ වැනි විය කඩුල්ලේ ඉම
ඇතැයි සිතුණිය පහසුවෙන්..

කලින් වග තුග නොකීවත් ඔහු
පැදුරු කඩමලු දුටු නිසා
ඇගේ තනියට සොහොන පාමුල
ඔහුත් නිදියයි රෑ පුරා..

ලබැඳි සොඳුරිය අතැර යනු බැරි
දුකින් වේලක් කා,නොකා
අදත් තරුණය මටත් වැඩියෙන්
සොහොන්පල්ලා පෙම නිසා....!!

නටු නොකී කවි



අතින් අත පේ වෙවී බෝධිය
ලඟදි මල් හිස වෙන් උනා
නටුව අතහැර පියුම විතරක්
පුදසුනක පූජා උනා...!


තවම බඩ වැල් නටු දිගේ දිය
මලට ආ වැඩි මඩ පෙරා
නමුදු කිසි දින දොසක් නොකියා
මලට සමුදෙයි අත වනා...!

වෙහෙර පාමුළ කසළ බඳුනක
නැවතුමකි අනියත නිසා
පුදසුනට යන පාර පෙන්වයි
මහනෙළට, නටු ඇස් වසා..!

තිබූ පුදසුන මතින් පරවී
කසල බඳුනට විසි උනා
කිසිත් නොඅසා මලේ කොපුලට
නටුව පිණි දිය වත් කලා..!


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න‍|පාට පහක්|2015