Tuesday, December 23, 2014

යාල් දේවී

පෙරුමාල් සිංහල ගෑනියෙක් බැඳගත්තෙ උගේ උවමනාවටම නෙමෙයි ඒක දිගුකාලීන සැලැස්මක්ය කියලා කියපු උනුත් ගමේ නොහිටියා කියලා උන් නොහිතා හිටියෙ නැහැ, බැහැයි කෝළහාලෙදි එකෙකවත් පෙරුමාල්ගෙ ඇඟට අතක් තිබ්බෙ නැහැ, ඒ උගේ පපුව උදේ හවා ගමේ එකාලා දැකපු නිසා, අත්තා මුත්තා, අලගිය වැලගිය තැන්, ආගිය තැන් නැති පෙරුමාල් නිකංම්ම නිකං පෙරුමාල් නොවී පෙරුමාල් අයියා , පෙරුමාල් මාමා උනේ ගමේ සිංහල හිත් දාන පාරමිතා පුරන්න ඉන්න එකාලා නිසා වෙන්නැති කියලත් උන්ට හිතෙන්නැති,

පෙරුමාල්,ලීලා, ආදරකථාව තුන්දරු උපතක් දක්වා දුර දිග ගියේ ලබා උපන් විදිහට, ලොක්කා කොල්ලා, අඟුරු කාපු එකා වගේ ඌ කලු උනාට අනිත් එවුන් තළෙලුයි, කොල්ලො දෙන්නෙකුයි එකියකුයි එක්ක නඩේ බර සැහැල්ලුවෙන් කර ගහපු පෙරුමාල් නන්දිකඩාල් වගේ වගුර වහලා තෘන පලස් ඇදලා පවුල ලස්සන කලා, ඒ වගුරෙ මල මිණී ඟඳ කියන නාමයක් උන්ට දැනුනෙ නැහැ,
මහ කොටියා මරපු කාලෙ ගමේ එකෙක් උඹලෑ මහ එකා වෙඩි කාලා මලා කීවාම පෙරුමාල් මහ හයියෙන් හිනාවෙලා ,ඌ කොටියා, මං දෙමළ, “අපි සිංහල“ කියලා කීවෙ උජාරුවෙන්,

පෙරුමාල් බක්කර කාරයා, පාං බණිස් හදන එකා, බක්කරේ පාං වාටි දෙමළ ඒවා මදේ යුරෝපෙ, වටේ පිච්ච්ච දාර ලංකාවෙ, .... තිරිඟු පිටි ගුලි පුච්චන්න අපේ පොළවෙ සාරෙ උරා බීපු සුද්දා හිටවපු රබර් ගස් පළලා දාද්දි පෙරුමාල්ගෙ මූනෙ මල් මල් හිනා ඇඳෙනවා, ඒ අධිරාජ්‍ය විරෝධී හිනාවක්ය කියලා උන් කියනවා වන්නටද පුලුවන,

කාන්තාරෙට ගමේ ගෑණු හෝයියට පටවද්දි පෙරුමාල් තල් කොළ, පං කොළ ලපටි එලිච්චියන්ට ගෙනත් දුන්නෙ තොප්පි,කූඩ වියන්න, පෙරුමාල්ගෙ මද්දුවා ලෝකෙ කාපු එකා වගේ ඕන දෙයක් විකුනන්න ගජයා, ඌ කදිරවේලායුධම් කෝවිලට යන පාරෙ තියං දෙමළ සිංහල දෙමුහුං තල් රටා විකුණුවත් උපන්තේකට දෙයියෝ සුදුද කළුද බලන්න කෝවිලට ගිය වගක් දැකපු එකෙක්නම් නැහැ,හැබැයි ඌ දෙයියෝ එක්ක සමීප ඇසුරක් පැවැත්තුවා, නැත්නම් ඌට ඔච්චර හොඳට වෙළඳාම් පිහිටන්නෙ නැහැ,

මුත්තයියාගේ දුෂ්රාවට ඇඹරෙන පෙරුමාල් ජයසූරියගේ හයේ පාරට වේටිටිය කඩන් උඩ පණිනවා, ඌ ජාතිආලෙ ඇති එකා කියලා එක එකාලා කීවත් ඒ මොන ජාතියක් ගැන ආලයක්ද කියන්න දන්න එකෙක් ගමේ නැහැ

දැන් පෙරුමාල් හැට හතර විය ඉක්මවලා ,දෙමළ යුගයකුත් සිංහල යුග කිහිපයකුත්, කල්ලතෝනි යුගයකුත්, තවත් නම නොදන්නා යුග කිහිපයක් පසුකලත්, දැන් සැඳෑ විය ගෙවන බව පමණක්ම මතකයේ තියාගෙන හූල්ලන්නැතුව ජීවිතේ විඳිනවා, අන් මතක කිසිවක් පෙරුමාල්ගේ ඉල ඇට යට ඇති හදවතේ කොයිම මුලලකවත් නොවේ,

අරක්කු ,ගංජා නැති, වඩේ,පැටිස් පමණක්ම ඇති පෙරුමාල්ගේ ගෙදරට මුරුගා ගම්මුන්ට හොරෙන් වඩිනවා ඇතැයි ගම්මුන් අනුමාණ කරන්නට ඇත,නැතිනම් පෙරුමාල්ගේ ගෙදර මිණිපහන කලාපෙට උස්සන්ගොස් අතවරකර පලාගිය පෙම්වතෙකු මවන්නට සිංහල ගම්මුන් සැරසෙන්නේ නැත, අඩු ජාතියේ කේන්තිය මහජාතියේ සරදමට ලක්වෙනවා කියලා සහසුද්දෙන් දන්න පෙරුමාල් කෙල්ලව නාවලා ගෙට ගත්තා, දෙමළ වචනයක්වත් කතාකරගන්න බැරි උනත් මුං දෙමළ ජාතකේක එවුන්නේ...පෙරුමාල් තමන්ටම කියාගත්තා..

පෙරුමාල්ගෙ බක්කරේ මගුලට කේකුත් අවමගුලට පෝරං තැටිත් හැදුනේ මිලක් මුදලක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි, ඒ හැම කේක් ගෙඩියක්ම පෝරං තැටියක්ම සිංහල එවුන්ටය කියලා අහිතක් හිතන්න තරම් හිතක් පෙරුමාල්ට තිබුනෙ නැති වෙන්නැති,

පෙරුමාල්ලාව ගමෙන් එලවන්ටේ කියලා හතලිස් අවුරුද්දක් වලි කාපු ධම්මරක්ඛිත ලොකු හාංදුරුවෝ සංසාර සළුවෙ අනිත් කොණ අල්ල ගන්න අදාහනේට නග්ගපු වෙලාවේ අනෝරා වැහි වැහැලා දර කොටංටික තෙමිලා භාගෙට පිච්චිච්ච මිනීයේ ඕජස් ගඳ ගමටම දැනෙන්න කලින් පෝරනුවේ ගොඩ ගහපු රබර් කොට කොල්ලෝ දෙන්නත් එක්ක චිතකෙට ඇදපු පෙරුමාල් මේ සංසාරේ හාංදුරුවන්ට තරම් ඌට දුර නැහැ කියලා පෙන්නුම් කරලාම දුන්නා,

පෙරුමාල් ගමේ දාහක් සරුං අස්සේ බයක් හැකක් නැතුව වේට්ටිය ඇඳපු, වේල් කාලෙට තොරොම්බල් අටවගත්තු ගමේ ඉන්න ණයත් නැති බයත් නැති එකා, කළු පාට මූනක් එක්ක සුදු පාට පපුවක් තිබුන එකා,

ලොකු කළු කොල්ලා උසස්පෙළ කරලා විස්ස විද්‍යාල හීන අතෑරලා පොලීසියට බැඳුනා, දෙවැනි එකා හන්දියේ කඩ කෑල්ලක් දාගත්තා, කෙල්ල අයෙ තුන් අවුරුද්දකින් පාතරට කරාවෙ මණාළයෙක්ව බැන්දා, එදානම් පෙරුමාල්ට හරි උජාරුයි, කුලියට උඩරට වෙච්ච පහතරට කරාවෙ මනාළයයි, සාම්ප්‍රධායික දෙමළ මනාලියයි තක්කෙටම ගැලපුනා,,දෙතුන් අවුරුද්දක් යන්න කලින් ඒකි සුද්ද සිංහල දරුවෙක් වැදුවා...

හැමදේම පිළිවෙලකට ගොඩනගපු පෙරුමාල් හත් දවසකට කලින් පෝරනුවෙ කොටං අස් කරද්දි නයෙක් ගහලා මලා, නයා සිංහල හෝඩියේ “ප“ පෙන්නගෙන, දිව එළියට දම දම ඔච්චම් කරද්දි,පෙරුමාල් තරමක් ලැජ්ජාවෙන් “ප “යන්න දිහා බලන් හිටියා, නයා ඇස් උඩට කරලා විශ දල විහිදවලා මුලින්න දශ්ඨ කරලා තිබුනෙ හරියටම බල නහරයක් උඩට, පෝරනුවෙ පාං කර ගඳ ගහද්දියි ලීලා විපරමින් බලලා තියෙන්නේ, එතකොටත් පෙරුමාල් මැරිලා, නයා ඒ ලඟම දරනෙ ගහගෙන ඉඳලා තියනවා, ලීලා මිනිස්සු පිරෙන්න කලින් නයා එලවලා....නයා “ ප“යන්න නොපෙනෙන්න පෙනේ හකුලගෙන වෙනතකට ඇදිලා, ලීලා විලාප දුනනා,ඒ විලාප හඬ තනිකරම සිංහල , දරු මුනුපුරෝ විලාප දුනනෙත් එහෙම, ඒ දෙමළ පපුවට ඒ සිංහල දැනුනද දන්නේ නැති මුත්,ජාතිියක් ජම්මයක් නැති ෆෝමලින් සුවඳ මුලුගමටම දැනුනා....

පෙරුමාල්ගෙ පෝරනුවේ පලමුවර ගමේ එකෙකුගේ අතින් පෙරුමාල් වෙනුවෙන් පෝරං තැටියක් හැදුනා, ඒ සිංහල පෝරං තැටියක්,

මරණෙට ආ එකෙකු පළමු වර පෙරුමාල්ගේ කොල්ලාව තවකෙකුට හඳුන්වා දුන්නේ “ මේ අපේ ලීලා අක්කගේ ලොකු පුතා“ යනුවෙනි, එකෙනෙහිම එහි පැමිණි පෙරුමාල්ගේ දියණිය මේ අපේ අම්මගේ අළුත් මුනුපුරා යැ කියා සුද්ද සිංහල මුනුපුරා පෑ ය,

Thursday, September 18, 2014

සන්නස්ගල|‍ විචාරයේ නිරුවත,

සන්නස්ගල කී සැනින් පෙර අප මතකයට ආවේ නව කථා කිහිපයක්, සිංහල පන්තියක්ය, නමුත් අද සන්නස්ගල යැ කී විටම අන්තර්ජාලයෙහි මතකයට එන්නේ වෙළඳ නාමයක් හා එක්තරා මාධ්‍ය-වේදියෙක්වය,
සන්නස්ගල මාර්කට්න් වලට කප්පිත්තෙකි, ඒ ඔහුගේ දක්ශතාවයය, ඔහු දුක මැනවින් වෙළදාම් කරයි, ඒකත් ඔහුගේ හැකියාවය, ඔහු අකුරු වලින් විවිධ දේ වපුරයි, ඒකත් ඔහුගේ හැකියාවය, අනෙකන්ගේ දෑ සොරා නොගෙන, අනෙකාට වල නොකපා, අනෙකාව ගසා නොකා ඔහු තම ව්‍යාපාර කරගෙන යයි ,ඒද ඔහුගේ හැකියාව ය,

නිර්මාණ හරහා පුද්ගලික ඇරියස් කව(ර්) කරනා පරාජිතයන් ගැන විටක අනුකම්පා ඉපදෙයි,

අප ප්‍රසිද්ධ පුද්ගලයන් හඳුනනවා යැයි කියන්නට කැමැත්තක් දක්වමු, ඒ පෘතග්ජනයන්ගේ හැටිය, ඒවා වෙනස් කරවීමට අපට නොහැකිය, කෙනෙකුගේ ප්‍රසිද්ධිය භාවිතා කරමින් යමෙකු ප්‍රසිද්ධ වන්නට උත්සහ ගනීනම් එයද පෘතග්ජන ආර‘යි කියා අපට ඉවසිය හැක, නමුදු සන්නස්ගලගේ මාර්කටිං යැයි කියමින් තමාව මාර්කට් කරගන්න පරාජිතයන් දුටු කල යම් කලකිරීමක් ඇති වේ,

උපුල් ශාන්ත සන්නස්ගල දක්ශ ලේඛකයෙකි,දක්ශ සිංහල ගුරුවරයෙකි, ඒවා ගැන විවිධ පුද්ගලයෝ විවිධ මත දැරූවද “හිතට පොඩි තට්ටුවක් දැම්මාම ගැස්සිලා ඒවා පිළි ගනී“ ඊට අප කියන්නේ හෘද ශාක්ෂිය කියා ය,

සන්නස්ගලයන්ගෙ ලියවිලි පැහැදිලිය, සංකල්ප රූප මවන්නේ නිතැතිනි,ඒවා සංවේදීය, විටෙක රළුය, සමස්ථය හදවතට කථා කරයි,

අද ඇත්තේ නිර්මාණ නොව පුද්ගලයන් විචාරය කරනා විචාර ක්‍රමයකි, එය ගොසිප් මාධ්‍ය-වේදීන්ට විලි ලැජ්ජා ඇති කාරණයක් නොවේ, කාව හෝ නිරුවත් කොට පත්තරයක් විකුනන්නට මාන බලනා මාධ්‍ය-වේදියාගේත් , ගබ්සා මධ්‍යස්ථානයේත් වෙනසක් මම නොදකිමි, මධ්‍ය-වේදීන්යැ කියාගන්නා බොහෝ පිරිස් නිසා බොහෝ දෑ වැදුම් ගෙය තුලම මියැදෙයි,

සන්නස්ගලයන්ට මඩ ගහනා බොහෝ පිරිස් එය කරන්නේ “පොර මානසිකත්වයෙනි“ නැතිනම් සන්නස්ගලයන්නේ නාමයේ එල්ලී “ගොඩ යන්නටය“ සැබවින්ම එම විචාරකයින් එදා කල බිබික්කමක්ද අද කරනා යමක්ද නැත, කරන්නේ ඔවුන්ගේ කුණු වූ පපු කැහුතු ලෝකයට විදා පෙන්වීමම පමණි,

සැබවින්ම “අම්මා“ කෘතිය පිළිඹඳවත් සන්නස්ගලයන් පිළිඹඳවත් එක් පුද්ගලයෙකු දිවා රෑ නැතිව එළව එළවා ගැසීම දැන් කම්මැලි විහිළුවකි, එය එතරම්ම ඕනෑවට වැඩිය,

අප ඒ පන්නයේ විචාරකයන්ට අනුකම්පා කරන්නෙමු, එමෙන්න පුංචි අභියෝගයක්ද කරන්නෙමු, “ඔය එක එකාට බැන බැන ඉන්නා වේලාව යොදාගෙන හරවත් යමක් අපට තිළින කරන්නට හැකිනම් ,ඔය තරම් වැරදි ඒ ඔහුගේ නිර්මාණ තුල වේ නම් නිවැරදිව කරන ලද නිර්මාණ ඇතුලත් කෘතියක් ලබන අවුරුද්දේවත් අපට දෙන්නට හැකිනම්“ අනේ වාසනාවන් ය,

Thursday, August 21, 2014

මගේ කවි පොත....


-

මට මෙහෙම හොඳයි...
ආලවකයෙක් වීම ඊටත් හොඳයි....!!
සුරංගනා හීන අතහැරලා,මල් උයන් අතහැරලා
මම බුදු උනා,මම නිවන් දැක්කා කියන
දහසක් සුදු පිරුවට අතර මම ආලවකයෙක් වෙනවා
ඒක මට හොඳයි...!!
ඒක මට සතුටුයි...!!
ආලවක ආලිංගන
කඩුල්ල ප්‍රකාශනයක්

Monday, August 11, 2014

ආළවක ආලිංගන

 හුස්මක් කටක් ගන්නට ඉඩක් නොතබාම මද වේලාවක් නිලයක් අල්ලා සිටි හිමි නම ජයසිරි පසු පසට විසිවී යන ලෙස තල්ලු කර දැමීය, උන් හිටි තැන් අමතකව ගිය ජයසිරි දාන ශාලා දොරකඩම පතබෑවේ මරු විලල්ලෙන් ඒ මිහියන් දෙස ඔරවමින් බලමිනි,

පර බල්ලා, උඹ ආයෙ පංසල් වත්තෙ සතා සීපාවට ගිණි බින්දොත් මං තෝව තියන්නෑ‘
ධම්මරක්ඛිත හිමියන් ගුගලේය,

ජයසිරි බිම බලාගත්තේ ජීවිත කාලයක් පුරා රැකගත් ගාම්බීරත්වයද නොසලකමිනි, නැවත මහාමේරුවක්ව නැගීසිට ,නාලාගරියා මෙන් ඒ හිමි පාමුල වැද වැටිණි, අපේ හාංදුරුවනේ සමාව අවසර .මින් පස්සෙ එහෙම අකටයුත්තක් වෙන්නෑ,

ජයසිරි එය කීවේ ඇසෙන නෑසෙන හඬිනි..

මේ පවු වැඩ අතහැරලා හොඳ මිණිහෙක් වෙයං කාළකණ්නියෝ‘යි කියමින් හිමියන් නැවත ගුගුලේය, එවක් නම් ආළවකයාගේ ඉවසුම සිඳිණි,

මං දැං කිව්වා එහෙම වෙන්නෑ කියලා,තොපේ කං ඇහෙන්නැද්ද යකෝ, පිං බත් ගිල ගිල ඉඳලා මුංලා දන්නෙ කෝමද මෙව්වෑ හැටි, යකෝ මයෙ දරුවන්ට බොලාලට වගේ පිං බත් ලැබෙන්නෑ බොලව්,

ජයසිරි එසේ ගුගුරා නැවත හඬ අඩුකර නිවුනු ස්වාභාවයක් පෙන්වීය,

අපේ හාමුදුරුවනේ ඔය සිවුරු අස්සෙ ඉන්න සුගතෙව අහවල් එකෙන් උස්සලා මං පොළවේ ගැහුවා කියලා හිතං මට මයේ පාඩුවේ ඉන්න දෙනවා හොඳයි,

ජයසිරි එසේ කීවේත් දැඩි නිවුනු සෙයකිනි, ජයසිරිගේ හැටි කුඩාකල සිටම දන්නා හඳුනන ධම්මරක්ඛිත මිහියන් පසු බැස ගියේ ජයසිරියා හා භජනය එතරම්ම යහපත් නොවන බව හැගුණු හෙයිනි,

කහපෙතිය ආරච්චි බණ්ඩාරලාගේ පරපුරේ එකෙකු බව කියන ජයසිරියා එදා සිට ආලවකයා විය, මැණික් බන්ඩාර කුමරියගේ ඉකිබිඳුම අදටත් ඇසෙන දුංහිඳ මාණයේ ආළවකයා භවන සාදා නොදන්නා කොහේදෝ ගං පලාතකින් ගෙනා කුමාරිකාවක් හා විසී ය,

ඈ නන්දාය, ඇන්දාය නොඇන්දාය ,කෑවාය බිව්වාය ,වින්දාය, නොවින්දාය කියා වෙනසක් නැතුවම ආලවකයාට පෙම් බැඳි ඈ නන්දාය, නෑ බෑ නොකියාම ආලවක පරපුර ගෙනයන්නට දරු සිව්දෙනෙකු වැදූ ඈ නන්දාය,පන්සල් නොයන,මුත් පවු නොකරන නන්දාය, පල බැල්ලි එලියට කී විට එළියට යන, වර ඇතුලට‘ය කී විට යලිත් ඇතුලට එන, දේහධාරී ආලවකයාගේ ඇඹේනිය ඈ නන්දාය, ගංජා ගසක මුල් කොල,අතු ඉති,ඇට,උරා පදමට විත් පහුරු ගෑ ආත්මයක් සහිතව කොන්දේසි විරහිතව ආලවකයා හා සැතපෙන ඈ නන්දාය, ආලවකයාගේ අණට කීකරුව, මේ තලගොයා ය,මේ ඌරාය,මේ මීමින්නාය, මේ ගෝණාය කියා වෙනසක් නැතුවම උයා පිහා දෙන ඈ නන්දා ය,

මහ තලා ඝන කෙසින් සැදුම් ලත් පපුවත හිස තබා ඈ ආදරය සෙව්වා ය, ආලවකයාට ආදරය දනවන්නට දුක් වින්දාය. ඈ නොහැඬුවා ය, ආලවකයා මත්තේම ඉවසුවාය, රැවුම් ගෙරවුම් බැනුම්,සීරීම් පොළවේ ගැසීම් වලට හුරුව ඈ උපේක්ශාවෙන් ජීවිතය වින්දා ය,

එකෙකු පෙකෙණි වැල කඩාගත් වහාම අනෙකා කුසට ආ හ, ඈ නෑ බෑ නොකියාම දිව්‍ය විමණට යන්නට පඩිපෙළක් තනන්නාසේම දරුවන් වැදීය. හැකි ලෙස පෝශණය කලේ ය,

ආලවක භවනේ අගමෙහෙසිය වන්නට ඈට ඊට වඩා සුදුසුකම් අනවශ්‍ය විය, ඈ ඒ සියලුම සුදුසුකම් සපුරා එහිම විය, වෙන් නොවීය,

දුංහිඳ ,බදුලු ඔය,නමුනුකුල,ආළවකයාට ඇති පදන් දඩයම් දුන්නේ  නන්දා ගැන සිතා විය යුතුය,බෝර තුවක්කුවත් කාල වර්ණ සිරුරත්, සිරුර පුරා වැසී ගත් ඝන කෙහෙත්,අව පැහැ තරමක් විශාල අපිලිවලකට පිහිටි දතුත් ආලවකයාට යක්ශ පෙනුමක් ආරූඩ කිරීමට සමත් විය, මහා ඌරු තඩියෙකු කරේ තබා එන විට සමහර ගැමියෝ ආළවකයාට විහිලු තහළු කරයි..

“ආලවකයා කවුද ඌරා කවුද හඳුනන්න බැහැ බොලව්“

ගැමියන් එසේ කී විට ආළවකයා වීරයෙකු මෙන් සිනාසෙයි,නැතිනම් කුමක් හෝ කුණුහරපයක් දොඩයි,

ආළවකයාගේ දඩයමේ පළමු කොටස ,දැඩි භක්තියකින් පූජාවක් කරන කට්ටඩියෙකු සේ හේරත් මුදලාලි වෙත ගෙන යයි. ඔහුගේ මුලුතැනටම ගොස් එය තබා කැහැපට ගැන්වූ සරම පාත් කොට.අව පැහැ දත් පෙන්වා මුදලාලිගේ ජනේළයට සිනාසෙයි, පොල් ගෙඩි කිහිපයක්, හාල් තුනපහ,තෙල් ඊට පිලිතුරක් ලෙස ලැබෙයි. මුදලාලිගේ කඩුල්ල පනිත්ම, ගංජා සුරුට්ටුව දල්වා සරම කැහැපොට ගන්වා, බඩු මල්ල කර පින්නා උජාරුවෙන් නමුනුකුළ නගියි,

ආලවකයාට දරුවන් සමඟ ගනුදෙනුවක් නැත, කන්නට තුන්වේල අඩුවක් නැතුව දුන්නද ඉන් එහා කිසිදු සම්බන්ධයක් ඔහු අපේක්ශා නොකරයි,, ඔහු මූනිච්චාවට දරුවන්ද අපමණ බියක් දක්වයි, කඩුල්ල පණින හඬ ඇසූ පමණම දරුවන් එක්කෝ නින්දේය, නැතිනම් හාවක් හූවක් නොමැතිව අහුමුලු වලය,

නන්දා මෙහෙ වරෙං,

කද මලු බිමලා ආලවකයා ගුගුලේ කුමකටදැයි නන්දා ඉවෙන් මෙන් දනී, නන්දා නොගියා ය,

මෙහෙ වරෙං යකෝ,

ආළවකයා නැවතත් ගුගුලේය.

නන්දා සෙමෙන් බිම බලාගත්වනම ආළවකයා වෙත ඇදුනි,

තොට දැන් මං වඳින්ට වෙලානේ බං මගේ ලඟට ගෙන්න ගන්න, ආළවකයා කීවේ ගොදුරක් දැක කෙළ හළන මෘගයෙකු පරිද්දෙනි..

දරුවෝ ඇහැරලා, උන් දකියි

නන්දා කීවේ එපමණකි,ආළවකයා කිපුනේය,

දාපං ගිහින් තොගේ බලු රැළ දුංහිඳෙන් පහලට,කාළකන්නි හැත්ත..මොකද මුං අපි පඬුරු පාක්කඩ බැඳලා ගෙන්න ගත්ත එවුන් යෑ..තෝ මෙන්න මෙහෙ වරෙං,ගලවලා දාපං ඔය චීත්තෙ‘යැ කියමින් ආලවකයා නන්දාව තමා වෙතට ඇද ගන්නා ක්ශනයකින්ම ඈ ඔහු වෙතින් මිදිනි,

යකෝ තිරිසනෙක්ට උනත් චාරයක් තියනවා, මේ මිනිහට එහෙමවත් චාරයක් නැහැ, මගේ කාළකන්නි කම, මගේ පව,

නන්දා පළමු වර කෝපාවිශ්ඨ විය,  දිවියේ පළමු වර ඈ ආළවකයාට අවනත නොවුනා ය. දිවියේ පළමු වර ඈ ස්වාධීන වූවාය, එය ඈ හටම දරාගත නොහැකි විය,නමුදු ඈ දරුවන් වෙනුවෙන් පෙනී සිටියා ය,

උඹට පුලුවන් සතෙක් වගේ බඩ උඩ ලැගලා ළමයි හදන්න විතරයි, උන් ටිකත් උඹ වගේ සතෙක් කලාම උඹට නින්ද යයි, නන්දා නොනැවතීම කෑ ගැසීය,

ආළවකයා මීයට පිම්බා සේය, හාවක් හූවක් නැතුවම බලා සිටී,වික්ශිප්ත වී සිටී, නන්දා බැරැන්ඬි උගුරෙන් තව තව දේ පවසයි, මහ හඬින් කෑ මොර දෙයි, ආලවකයා සිටි ඇලයෙන්ම මුව අයා සිටී, ඇගේ ගෙරවුම අවසානයේ වලස් හිසක් සවි කර නැවත නැගී සිටි මහසෝනාසේද, කිපුණු නාළාගිරියා සේද හැරුණු හැරැණු අතට පහර දෙන්නට විය, නන්දා පහර දීම් ඉවසුවා ය. ඇයට ආළවකයා හා හැරිය නොහැක, බිම දමා යටි බඩ පාගා, ඒ මත නැග අනෙක් කකුළ බෙල්ලට තැබීය, ඒ නන්දාගේ අවසානය යැයි ආළවකයා සිතීය, කොහේදෝ සිට ආ ආළවකයාගේ ලොකු කොල්ලා ආළවකයාගේ ඇඟට පැන්නේ ඇසිල්ලකිනි, ආලවකයාගේ සමබරතාවය ගිලිහිනි .නැවත ඌ ඔසවා පැත්තකට විසි කර   නන්දා වෙතට පනිද්දී ඈ යලි නැගී සිට අවසන්ය,

උඹ මට ගහපං,මේ අත දරුවොන්ට අත උස්සනවා නෙමෙයි, නන්දා නැවත ගගුගුලේය, එහෙ මෙහේ අත ගා සොයා ගත් මුවහත් පිරිය අමෝරා ඈ දරුවන්ගේ විමුක්තිය පිණිසම සටනට සැරසි බවක් පෙන්වීය, ආලවකයා දැමුනේය,ගෙයින් එළියට පැන්නේය,

මං ආයෙ එන වෙලාවට උඹලා මෙතන ඉන්න බැහැ,එක්කෝ උඹලා එක්කෝ මම,

ඒ ආලවකයාගේ අවසන් නියෝගය බව නන්දා දන්නීය,ඈ ජීවිතයේ හැරවුම් ලක්ශය සොයා යන්නට තීරණය කලාය,
අම්මෙක් අප්පෙක් නෑයෙක් නැති නන්දා සිව් දරු වඩා බදුලු ඔයේ ඉහලටම වග වලස් මෘග හඩ අතර ඇදිනි, සිහියත් අව සිහියත් අතර ඈ මාරුවෙන් මාරුවට දරුවන් වඩා ඒ ගිරි ශිකරයේ මුදුනතම සෙවීය, නීරස ජීවිතයේ ඇති අවසන් අමෘතය සොයා යන මුවැත්තියක් සේ ඈ අවසන හැරවුම් ලක්ශය සොයා ගත්තා ය, ඒ දුංහිඳ පහතට වැටෙන තැනය, ඒ දුංහිඳ සමුදුර සොයා යන්නට පිම්මේ පහතට වැටෙන තැනය, ඈ සිව් දරුවන් සමඟ දුංහිඳෙන් පහතට ජීවිතය මුදා හැරියා ය, ගල් පරවල හැපෙමින් පහතට වැටෙද්දීත් ඈ දරුවන් අත නොහැරියා ය.අවසන දුංහිඳ පාමුල සුන් වී ගිය සිරුරු වලින් යුතුව විමුක්තිය ලැබුවෝ ය,

මේ බැව් නොදත් ආළවකයා මැදියමද පසුවී නිවසට ආවේ දැඩි කලකිරීමෙනි, නන්දා, නන්දා යැයි කිහිප වරක්ම අඬ ගැසූ මුත් පිලිතුරක් නැත, ගේ පුරා එහෙ මෙහේ ගිය මුත් ඈ හෝ දරුවන් නොමැති බව දුටු ආලවකයා හැල්මේ ගල් තලාව බැස දන්නා කියන නිවෙස් වල ඈ සිටීදැයි විපරම් කලත් තොරතුරක් නොවීය.

ආලවකයා පන්සලට ගොඩ විය,

හාමුදුරුවනේ නන්දයි දරුවොයි පන්සලට ආවැයි‘ විමසීය

මේක අම්බලමක් කියලා හිතුවද බොලව් මේක අස්සෙ මේ දෙගොඩහරිජාමෙ ගෑණු ,ළමයි දාගෙන ඉන්න..

හාමුදුරුවන්ගේ වදන් හමුවේ ආළවකයා කිසිත් නොකියාම පසු බැස්සේ යම් අසරණ බවකිනි,

ඔහොම හිටපං...හිමියන් නැවත කීය..ආලවකයා හිටිවනම නැවතිනි,

දැං උඹේ ගෑනියි දරුවොයි කොහේ මකබෑවිලාද උඹ මේ රෑ දොගොඩහරිජාමෙ ගම වටේ ඇවිදින්නේ..

ගෑණි දරැවොත් අරන් ගෙදරින් ගිහින් අපේ හුමුදුරුවනේ..

හිමියන්ගේ පැනයට ආලවකයා පිලිතුරු දුන් නිවුණු බැවින්ම කුමක් හෝ සිදුව ඇති බව වැටහුණු හිමියන් ඝාන්ඨාරය නාදකොට ගැමියන් ගෙන්වා මූකලාන පීරා සෙවූ නමුත් නන්දාත් දරුවනුත් හමු නොවිණි,

නන්දාට යන්නට තැනක් නැත, නෑයෙක්ද නැත, ඈ ගියානම් යා යුතුව ඇති එකම තැන ආළවකයා හරියටම හැඳින ගත්තේ ඉවෙනි,

අපේ හාමුදුරුවනේ නන්දා යන්නැත්තේ දුංහිඳ පල්ලට, ආළවකයා කෙඳිරීය..

හුලු අතු රැගත් ගැමියෝ සැනෙන් දුංහිඳ පාමුලට ආ හ, යාන්තම් උදා හිරු නමුණුකුලෙන් පහත බලදිදී වෙනදාට කිරි පැහැ දුංහිඳ රත් පැහැ ගැන්වී තිබිණි,
හිමියන් කිසිවක් අදහා ගනු නොහැකිව ගල් තලාවේම හිඳ ගති, සී සීකඩව විසිරුණු මළ සිරුරු ඉවුරුවල එහෙ මෙහේ හැපෙමින් තිබෙනු දුටු ආළවකයා කිසිවක් නොකියාම ආපසු හැරිණි, කිසිවෙකුගේ අවධානයක් නොලබාම ආලවකයා දුංහිඳ මුදුනටම සිතිවිලි මරා දැමුවෙකු මෙන් ඇදිනි,

මං උඹේ දරුවන්ට අත තිබ්බෙ නැහැ යක්ශනියේ..උඔයි උංව මරලා දැම්මේ, ආයෙ වරෙං නන්දා මයේ ගෙට..මට උඔ නැතුව බැහැ බං, ඔය කටු ගැහිච්ච සරීර කූඩුවෙං විතරයි බොල මං සැනසුනේ

එසේ කියා දුංහිඳට හිස පාත් කර පය බුරුල් කරනා ලදින් ඒ ඉරියව්වෙන්ම දිය දෙබෑකර ගල් තලාව මතට වැටෙද්දී  “නන්දා බැහැපං එළියට-නන්දා වරෙන් ගෙට“යි ගුගුලේය, ඒ හඬ නමුනුකුලේ දෝංකාරදී ආලවකයාගේ අවසන් සුසුම සමග බදුලු ඔයේ සැඟවී ගියේ සැනෙනි..!!







Tuesday, July 1, 2014

නයිට් රේස් ඥාණසාර සහ අළුත්ගම..

'

මහනුවර නයිට් රේස් ආරම්භයට පෙර එහි මග අවහිර වන සේ ගලබඩ අත්තේ ඥානසාර හිමියන් මහා ගිරක්ව පාර මැද නිදාගනීවී යැයි අපි සිතීමු...පාර මැද දිගාවී “බොදුණුවනි බිය නොවන්න මැරෙනා සැටි මම පෙන්වමි“යි කියා නයිට් රේස් නවතනු ඇතැයි අප බලාපොරොත්තු වීමු..මන්ද යත් එතුමාණන් තරම් බුදු දහමට ලැදි ,එය ආරක්ශා කරන තවත් අයෙක් නැතැයි අප සිතා සිටියෙමු, ඒකා එසේ කලේ නැත..කලේ මුස්ලිම් උන්ගේ රෙද්ද උස්සා සුන්නත්තිය නිවැරදිව කර ඇද්දැයි බලා අත්හදා බැලිමක් ලෙස මෙය බුදුනුවන්ට හුරුකරනු පිණිස වටරැක විජිත ලව්වාම ඒකාගේ චර්මඡේදනය කරවීමයි...අප ඊට එතුමන්ට හදවතින්ම සුභ පතන්නෙමු..එය ජාතික අවශ්‍යතාවයකි..

රුසියාණු තරුණියෝ යාන්තමින් විලි වසා දළදාවහන්සේට පසු පස හරවා නාමල් බේබිට කොඩිය වනද්දී රිදුනේ සිංහල බෞද්ධ අපේ පපු වලටය, ජර්මන් තරුණියෝ බෞද්ධයාගේ මුදුන් මල් කඩට විවර වූ අධෝ පෙදෙස පෙන්වා නැටුම් නටද්දී ඥානසාරලා අත් පොලසන් නොදුන් බව කාට කිව හැකිද? මේවා වලින් රිදුනේ අපටය, නුවර යම පල්ලන් ලවා දූශණය කර හමාරය, ඒ රාජකීය යම පල්ලන් ලව්වා ය, මේවා සහ ගහන අපරාධ ලෙස අප දකින්නෙමු, මේවාට අනුබල දෙන මහ නායක රූකඩ හිමිවරුන් ගැන ඇත්තේ දැඩි අප්‍රසාධයකි,

සැබවින්ම අප කල යුත්තේ මුස්ලිම් මිනිසුන්ට හිංසා පීඩා කරවීමය, දෙමළ මිනිසුන් මරා දැමීමය, මන්ද යත් මේ අපේ බොදු හෙල බිමයි...ඒ හෙළ බිමේ දළදා වහන්සේට විජාතික කාන්තාවෝ පසු පස පෑවාට කම් නැත, මන්ද යත් දේවාලයේ කපුවා දේවාලයේ පැහැරුවාට අවුලක් නැත...! අප දේවාළයේ කපුවන්ට පහරන්නට ඉඩදී දෑස් දල්වා බලා සිට පසුව ඒ වසරු නළලේ අතුල්ලා උන් දෙපා මුල වැටිය යුතුය, එවිය ඥානසාරලාද,නාමල්ලාද, මහින්දලාද සතුටින් අමන්දානන්දයට පත්වනු ඇත...ඔවුන්ගේ සතුට අපේ සතුටම නොවේද?????

අපට කියන්නට තියෙන්නේ “බොලට හෙට- අපට පාර“ කියා මිස අනෙකක් නොවේ..!!

chaminda pradeep silva gunarathne
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

Wednesday, June 11, 2014

ලබන අවුරුද්දේ පොසොන් පොහොයටවත් මේ වසංගත දුරුවේවා..

-

අති උතුම් පොසොන් පොහොය අදට යෙදී ඇත,මිහිඳු මාහිමි මෙරට බෞද්ධ ධර්මය ස්ථාපිත කිරීම ඉන් සංඛේතවත් වෙයි, එදා සිට අද දක්වා කාළ පරාසය තුල මේ ධර්මදීපය කොතෙක්නම් බුදුදහමින් ඔපවත් වී ද..

එකෙකු බුදුන්ට අයිතිවාසිකම් කියනු වස් බුදුන් ශ්‍රී ලංකා ද්වීපයෙහි ඉපදුනු බවක් කියති, තවකෙක් නිකායද, තවකෙක් අසපුද නිර්මාණය කරති, තවකෙක් ඔන්ලයින් පාඩම් මාලාවකින් නිවන් දක්කයි,


බුදු දහම කොතෙක් ඔප්නැංවීද යත් දැන් “සාධු“ කියන්නේද තාලයට වරුවක් පමණ ඇදීමෙන් පසුය, දැන් ස්වාමීන් වහන්සේලාද නැත, ඇත්තේ හුරතල් හඬින් වෙළඳ බණ දෙසන අසපුවේ පොඩි සුදු සාදුලා ය,උන්නාංසේලාට පිණ්ඩපාතය “හරාම්“ය ,හිරු එළියේ ඇවිදීම “හරාම් “ය මොන්ටරෝවක් නැතුව ගමන් බිමන් යාම “හරාම් ය“

පන්සල දැන් වදකගාර තත්වයේ පවතී, ඇබිත්තයාව බාල්කයේ එල්ලා පහරදී මරන්නේ ක්ශණික ධර්මවභෝධය පිණිසය, හැන්දෑවට ගංජා සුරුට්ටුවක් බී පන්සලේ සාමනේර හිමිවරු රෙස්ලින් කෙළගන්නේ ගම්මු සැනසීමටය,සසර දුක පැහැදවීමටය..


පසුගිය සම්බුද්ධත්ව ජයන්තියෙන් පසු මේ ධර්මදීපය ඇදවැටුනේ අගාධයටමය, වෙසක් සිරි වැස්සට දියවී සතියක් යන්නට මත්තෙන් එකා දෙන්නා තැන් තැන් වල මියැදුන හ. තාප්පවලට යටවී, පස්කඳුවලට යටවී, අවි ආයුධ පෙන්වන්නට ගොස් ආදී එකී මෙකී නොකී විවිධ අයුරින් පිරිස් මිය ගියහ, ඒ මිය යන බහුතරය සිංහල බෞද්ධයෝය, ආයුධ පෙන්නන්නට ගොස් දියට පැන මැරුණු හෝ පොලීසියට පහර දෙන්නට ගොස් මැරුන එක “තම්බියෙක්“ එක “දෙමළෙක්“ ගැනවත් අප අසා නැත,


සොත්ති උපාලිලා,පද්මෙලා, ආමි අමිලලා, නාවල නහාල්ලා, ආදී පාතාල ප්‍රබල නම් ඇසුනත් දර්ගාටවුන් මොහොමඩ්...මඩකලවුවෙ මුත්තුකුමාර් ආදී නම් ඇසෙන්නේ නැත....අවාසනාවකට ඒ පාතාල ගිණුමටද වැඩිපුර බැරවන්නේ සිංහල බෞද්ධයා ය,

බෞදධයා වෙනුවෙන් ආගමික පොලීසියකි, ඒ බුදුන් දෙසූ මගද? පොලීසිය යනු පොළු මුගුරු සහිතව හෝ රහිතව රටේ සාමය හා සහජීවනය වෙනුවෙන් පෙනී සිටින කොටසකි, ඊට “ආගමික“ එක්වූ විට මැවෙන්නේ සෞදියේ බෙලිකපන, ඇඟිලි කපන ආගමික පොලීසිය එනම් මුතෙව්වන්ය,

බෞද්ධ දර්ශණය යනු පරම අවිහිංසාවාදී දහමක් විනා අවියෙන් බලයෙන් නිලයෙන් පිරිස් මර්ධනයකරන මරාලයක් නොවේ..!

වෙසක් පොසොන් දැන් පාරිභෝගික අවශ්‍යතාවයක් මිස ආගමික අවශ්‍යතාවයක් නොවන මට්ටමට පිරිහී ඇත, එහෙව් මාර්කටිං වෙසක්,පොසොන් තුල, රී ලෝඩ් දන්සල්, ඔන්ලයින් ඩිජිටල් තොරන් අරුමයක් නොවේ, කලින් දින වෙන්කල ස්කයිප් ධර්මදේශනා අරුමයක් නොවේ...! ධර්මාවබෝධය පිණිස ෆේස්බුක් එන හිමිවරු සිවුරු හැරයාම අරුමයක් නොවේ..! ඒ ආගමික වෙළඳ සංස්කෘතියේ හැටිය, එසේ කියා අපද වැල යන අතට මැස්ස ගසා ඵලද නෙලාගන්නෙමු, ඔන්ලයින් නිවන් යන්නෙමු, ඩිජිටල් තොරන් බලන්නෙමු, ස්කයිප් බණ අහන්නෙමු, ඉන් නොනැවතී අසපුවල එෆ් බී එන පොඩි සුදු සාදුලාගේ ඉන්ටර්නෙට් බිල්ද ගෙවන්නෙමු...!

සා.......ධු... සා........ධූ.... සා......ධූ




පිහිටක් නැති ,සරණක් නැති, සතුටක් ඇති මුහුනක් නැති
මේ සසර දනව්වේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ...


හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙර‍ළක් නැති
මේ සසර දනව්වේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ..


නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති වෙහෙසක් නැති
මේ සසර දනව්වේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ..


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න..

Tuesday, June 10, 2014

ශාරුක්ගේ පොත සහ ගොසිප් කරුවන්ගේ බෞතීස්ම කිරීම..


-


සුප්‍රකට ඉන්දීය නළු ශාරුක් ඛාන් බෞද්ධාගම වැළඳගත් බව ගොසිප් “පට්ට ගසනා“ ප්‍රවෘතියක් බවට පත්ව තිබේ...ශ්‍රී ලාංකික බෞද්ධයන් දහස්ගනනින් අන්‍යාගමීකරණය රට තුලින්ම සිදුවෙද්දී ශාරුක් ඛාන් බෞද්ධයෙකු වීම “පට්ට“ නිවුස් එකකි,


ශාරුක් ඛාන් තමා බෞද්ධ පොත් කිහිපයක් බැලූබව පමනක්ම වෙබ් අඩවියකට පවසා තිබිණි, එය කොහෙන් හෝ අහුලාගත් ගොසිප් කරුවෝ එයට ලුණු,ඇඹුල්,තාර, දමා බරට රසට සකසාගෙන සමාජය වෙත මුදාහරින ලදි..බුද්ධාලම්වන පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය බෞද්ධයෝ ශාරුක් ඛාන් නම් යුගයේ පහලවුනු මහා බුද්ධිමතා බෞද්ධ වීම සැමරීය....

සත්‍ය කරළියට එන්නේ “ සී අෆ්ලම්“ රූපවාහිනී නාලිකාව හරහාය, ඔවුන් බොලිවුඩ් ගොසිප් වැඩසටහන හරහා මෙයත්, අමිතාබ්බච්චන් පිළිකා රෝගියෙකු යැයි ලංකාවේ කැලෑ මාධ්‍ය ඵලකල ලිපි ගැනත් දරුවෙකු මහ හඬන් සිනාසෙන පසුබිම් හඬක් සමග තම හාස්‍ය පලකර සිටින ලදි, සී අස්ලම්-සී අෆ්ලම් යනු බොලිවුඩ් පුරයේ අතිශය සුප්‍රකට සම්මාණ උළෙලවල් සහිත වගකීම් දරන නාලිකා ද්විත්වයකි, ඔවුන් යමක් කරන්නේ නිළ තොරතුරුවලට අනුවය, එහෙයින් ශාරුක්ගේ බෞද්ධ කථාව “අතේ රෝලක්“ බව ඉන් පැහැදිලිය,

බෞද්ධයා තම ගොඩ වැඩිකරගන්නා මිත්‍යාදුෂ්ඨිකයෙක්ද? නැතිනම් වඳවී යන ජාතිය දැක හිත හදාගන්නට “ අනේ මෙහෙමත් වෙනවනේ“ කියන්නෙක්ද? බෞද්ධයා යනු කවරෙක්දැයි බුදුන් පැහැදිලිවම සූත්‍රපිටකයේ දක්වයි....!! බෞද්ධයා “ මූත් අපේ ,ඌත් අපේ“ කියමින් කෑමොර දෙන්නෙකු නොවිය යුතුය, ඔහු නුවනින් ලෝකය දකින්නෙකු විය යුතුය, නොමැතිව යමෙක් කී පලියට කටමැත දොඩවා “ පච“ වෙන වට්ටිඅම්මලා විය යුතු නැත...!!

Saturday, June 7, 2014

නයි නළඟන හා ජඩමාධ්‍ය


දැන් මාධ්‍ය-වේදීන් නැත ඇත්තේ ප්‍රසව හා නාරිවේදීන්ය, උන් දැන් මුරකරන්නේ තිඹිරි ගෙවල්ය, අනුරාධපුර රෝහලට පොලීසිය යොදවන්නට වන්නේ ජඩ මාධ්‍ය -වේදීන් ප්‍රසව හා නාරිවේදීන් වී ඇති නිසාය,
ගැහැණියකට මෙතරම්ම එළව එළවා පහර ගසනා රටක් මුලු -
ආසියාකරයේම ,ලෝකයේම තබා මේ ක්ශීරපථයේම ඇතැයි සිතිය නොහැක...

නයි නළඟනට පැටියෙකු ලැබෙන මාතෘකාවක් සෑම ගොසිප් අඩවියකම, දිනපතා පුවත් පතකම ප්‍රධාන මාතෘකාව වී තිබේ...ගැහැණියකට දරුවෙකු ලැබීම එතරම්ම අරුමයක් වන්නේ මේ ජඩ මාධ්‍ය කලාව නිසා නොවේද?

ඇය ලංකාවේ සිටින එකම ජමාජශාලා නළඟනද? නැතිනම් ඇය ලංකාවේ මවක් වූ එකම කාන්තාවද?

නිරෝශා විමළරත්න නම් ඇය දරුවා සමඟ පාරට වැටුන හොත් පොඩි එකාට කිරි පැකට් එකක් අරන් දෙන්නට එක මානව හිතවාදියෙකු හෝ සොයාගැන‍ීම ඉතා අපහසු කටයුත්තක් වනු ඇත,..

ඇට නැති දිවට බොහෝ දෑ දෙඩවිය හැක, ගැහැණිය වේස ගෑනිය කරන්නටත්, විශාඛාව කරන්නටත් ඊට හැකිය, එහෙව් කටට පැටියා නයා කරන්නට බැරි කමක් නැත,මේ මාධ්‍ය විකුනන්නේ නූපන් හෝ ඊයේ ඉපදුන දරුවෙක්වය, ගොසිප් “පොරවල“ හිට්ස්, ඇඩ් වලට මාර ප්‍රෙයා්ජනයකි, උන්ට පැටියා මලත් කමක් නැත අවශ්‍ය වන්නේ වෙළදාමය.

ඒ වෙළඳ මාධ්‍ය සංස්කෘතිය දිනපතා පත්තරවලට බෝවීම අරුමයක් නොවේ කරුමයකි,නපුංසක මාධ්‍යකරුවෝ පිරිමි බව හෝ ගැහැණු බව පෙන්නන්නට ගැහැණියක එළව එළවා පහර දෙයි, අප ඒවාට අත්පොළසන් දී පසුව සාධුකාර දෙමු, ඒ පාඨකයාගේ හැටිය,

මේ සංස්කෘතියේ තුප්ප බවද නොඑසේනම් ප්‍රජාතන්ත්‍රවාදයේ තුප්ප බවදැයි මම නොදනිමි, නමුදු මතකතබාගතයුතු වැදගත්ම කාරණාව නම් ඇය කාන්තාවක් සහ ඒ පැටියා කිරිකැටි බිළිදෙකු බවය,..නොඑසේනම් මේ ජඩ සමාජයට එරෙහිව දිනක ගලිවරයෙකුව, ටී පනස් හයක්ව නැඟීසිටින්නේ මේ හය හතර නොතේරෙන බිළින්දාය,...එදිනට විලිය පසෙක දමා යටකලිසමින් මුහුණවසා දුවන්නට ඒ මඩ මාධ්‍ය-වේදීන්ට සිදුවනු ඇත...!!

Thursday, June 5, 2014

සල්ලි මිටි ගනන්.. නූතන ප්‍රබුද්ධ ගීතයේ අපූරු මග සලකුනක් නොවන්නේ ඇයි?

සල්ලි මිටි ගනන් අරගෙන ඒවා ටිං පිටිං
සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොළ වලින් සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං
ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ..!

බෙට් එක රුපියල් දාහයි -තෝමට සීයට විස්සයි
කොයි කාටත් නිතිය මේකයි...
කට් එක දෙන්නෙ එක්කෙනයි-රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුරකරයි...
හිප් එක දෙන්න ට්‍රයි කරයි-කොළ ටික දෙපැත්තට බෙදයි
කොයි කාගෙත් පපු දැන් ගැහෙයි...
සෙට් එක හුඟ දෙනෙක් වඳයි-සමහරු වටේටම නයයි
හයි ෆයි කම් එතන බාල්දුයි...

ඉල්ලුවා කලාබර හත-කරුමෙට පෙරලුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත...
ඇල්ලුවා පොරව හාරත-නියමෙට පෙරලිලා ඇත
සංතෝසයි දිනාපු පැත්ත
දන්නවා ගේමෙ වත ගොත-හරියට ජෙමා හිතනත
කවදාවත් පැදිලා නැත..
බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ඔය ගහන එවුන්ටයි හතේ හත...!

දශක පහක් නැග බැස යන තරු දාහක් අතර එක් තරුවක් තවමත් ප්‍රාසාංගික වේදිකාවේ අනසක තමා නතුවට ගෙන ඇත..ඒ සදාකාලික තරුව වෙන කෙනෙකු නොව නිහාල් නෙල්සන්ය...

‘‘මල්ලි එයාලා කියන ඒවා ප්‍රබුද්ධ නම් අපි කියන ඒවා සුප්‍රබුද්ධ“ වරෙක නිහාල් නෙල්සන් එසේ කියා තිබිනි, එය පරම සත්‍යයකි...‘සු“ ප්‍ර‘,තවත් උපසර්ග නොවන්නටම ඒ කථාවේ පිලිතුරු තිබිනි,

හ්මසිරි හල්පිටව,ජෝතිපාලව ප්‍රබුද්ධ නොකලේත්, නිහාල් නෙල්සන්ව, ඇන්ටන් ජෝන්ස්ව,  සීටී ලාව,එම් එස් ලාව ප්‍රබුද්ධ නොකලේත් ජනතාව නොව මාධ්‍ය විසිනි, මාධ්‍ය විසින් මරාදමන ඔවුන්ගේ ප්‍රබුද්ධත්වය නැවත නැවත ඉපදෙන්නේ නැනවත් අසන්නන් නිසාය, පත්තර පුංබන ප්‍රබුද්ධයන්ට අපිට අභියෝග කල නොහැක, සමහරු සුදු අඳින නිසාත්, සමහරු වයසක නිසාත්, සමහරු මළ නිසාත් ප්‍රබුද්ධ වෙයි, නමුදු මාධ්‍ය විසින් අමු අමුවේ මරා දමන/දැමෙන මේ අපේ කාලයේ පොළවේ පය ගැසූ ගායකයෝ ගීත අඹරේ තවත් සියවස් කිහිපයක් ජීවමානව දිදුලනු ඇත...


හේමසිරි හල්පිටයන්ගේ ගුනෙ අයියගෙ බජව් කාමරේ කරනම් ගැසූ නිහාල් නෙල්සන්ට සල්ලි මිටි ගනන් “ගේමක්“ නොවිනි, එහි පද මාලාව ගයන්නට හැකි තවත් අයෙක් වෙත්දැයි ගැටළුවකි...සල්ලි මිටි ගනන් ගීතයේ කොතැනක හෝ ආදේශක පද නැත, එය සාමාන්‍ය සූදු පොලක නූතන ව්‍යවහාරික පද වලින් පමණක් සමන්විතව ඇත,

සල්ලි මිටි ගනන් අරගෙන ඒවා ටිං පිටිං
සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොළ වලින් සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං
ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ..!

සූදු පිටියට එන්නේ හැංගුන සල්ලිය. ..සතෙන් සතේ ගෙදර මුල්ලක කැටයක හෝ එකතුවන්නේ සූදුවටය, එහෙව් සූදු කරු පිටියට යන්නේ “මචං සල්ලි නෑ“ කියමිනි, අනිත් පැත්තෙන් ලැබෙනා උත්තරය මචං ආස්ක්කිං හිටිං යන්නයි, එහි සූදුවෙහි වචනාර්ථය ඉල්ලන පැත්ත දිනුම් යන්නයි, අතිශය සුමට මාදූර්්‍යයක් ගොඩනැගීම වස් ගීත රචකයාට තම සිතැඟි සිතු ලෙස කල හැකිය, එය නිර්මාණයට ගැලපිය යුතුය. මේ ඉංග්‍රීසි යෙදුම කොතරම් අපූරුවට ගීතයට ගැලපෙනවාද...

ඊලඟට කියන්නේ ජෙමාගේ වරුණය,

පුල්ලි කොළ වලින් සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං
ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ..!

පුල්ලි කොල එනම් හොරට කොළ නැමිලි ජෙමා ලඟ නැත, කෙලින් වැඩ කරන කෙනෙකි ඔහු, මේ ගීතයේ මා කැමතිම කොටස යෙදෙන්නේ ඉන් පසුවය..
ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ..!

මෙහි ආසි හේරු පොරෝ බූරු යනු හුදෙක් කුට්ටමේ කොළම නොවේ..සමාජයේ විවිධ තරාතිරම් වල පිරිස් එම ස්ථානයේ සිටියි, මුදලාලිලා, දේශපාලකයන්, ධන කුවේරයන්ම පමණක් නොව, උනට “කඩේ“යන බූරුවන්ද එහි සිටිත්...!!


බෙට් එක රුපියල් දාහයි -තෝමට සීයට විස්සයි
කොයි කාටත් නිතිය මේකයි...
කට් එක දෙන්නෙ එක්කෙනයි-රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුරකරයි...
හිප් එක දෙන්න ට්‍රයි කරයි-කොළ ටික දෙපැත්තට බෙදයි
කොයි කාගෙත් පපු දැන් ගැහෙයි...
සෙට් එක හුඟ දෙනෙක් වඳයි-සමහරු වටේටම නයයි
හයි ෆයි කම් එතන බාල්දුයි...

සීයට විස්සකි ජෙමාගේ තෝම, එය කිසිවෙකුට වෙනස් නැත, මෙහි යෙදෙන තවත් එක් ව්‍යාංගයකි,“කට් එක දෙන්නෙ එක්කෙනයි-රවුමට ඔට්ටු පෝලිමයි“ මෙහි අපට නොකියන දේශපාලන කථාවක් ඇත, එය ඔබ තේරුම් ගත යුත්තකි, එකෙක් කපද්දි අනෙක් වටේ සිටින්නන් කරන්නේ කයිවාරු ගැසීමය, එය ආරක්ශාව පිනිස “කට් එක දෙන්නා“යොදා ගනී...

කාගේවත් ලොකු කම් “හයි ෆයි “කම් සුදුපොළට වැඩක් නැත, ඒවාට ජෙමා ඉඩදෙන්නේද නැත,සමහරි වඳය...මෙහි වඳ යන්නෙන් අදහස් කරන්නේ කුට්ටම අතට ගත්තොත් පරාදයියන්නයි, එහි සූදුවේ ආදීනවද පෙන්නයි,. ඒ..සමහරු වටේටම නයයි ලෙසටය,

 ඉල්ලුවා කලාබර හත-කරුමෙට පෙරලුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත...
ඇල්ලුවා පොරව හාරත-නියමෙට පෙරලිලා ඇත
සංතෝසයි දිනාපු පැත්ත
දන්නවා ගේමෙ වත ගොත-හරියට ජෙමා හිතනත
කවදාවත් පැදිලා නැත..
බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ඔය ගහන එවුන්ටයි හතේ හත...!

ඉල්ලූ පැත්ත දිනූ පසු සතුටකි, පරාජය අසතුටට හේතුවකි, එය කෙසේ නමුදු ජෙමා සතුටිනි, ඒ සෙල්ලමේ වත ගොත ජේමා හොඳින්ම දන්න නිසාය, බුරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත...කවුරු දිනුවත් ජේමාට සීයට විස්ස දිය යුතුය, කවුරු දිනුවත් කවුරු පරාජය උවත් ජේමාට ඇති පලක් නැත, ඔහු ඔහුගේ කුට්ටිය ලබයි, සෙල්ලම් කරන උන්ට වැලේ වැල් නැත,ජීවිතයක් නැත, ආත්මයක් නැත,..

පිටතින් පෙනෙන සූදුවේ කථාවත් ඇතුලතින් පෙනෙන දේශපාලන කතාවත් හැර සිතන්නට තවත් යමක් ඇත...ඒ බයිලාව ප්‍රබුද්ධ නොවන්නේ කෙසේද යන්නයි, ඉහත බයිලාවේ සක්ක පත, ඈදිලි, පිටතින් ආදේශනය කරන ලද ආදේශක, සමාන පද නැත, ඇත්තේ සාමාන‍්‍ය නූතන සූදු පොලක භාවිතා වන වචන මාලාවකි, එය ගීතයකට කවුරුනම් ගනීද? මේ් විවෘත අභියෝගයකි, ප්‍රබුද්ධ යැයි කියනා ඔබට මෙවැනි සක්ක පද නැති ගීතයක් ලිවිය හැකිද? මෙලෙස විචිත්‍රනයේ  එය යෙදවිය හැකිද?

එය නූතන ප්‍රබුද්ධ ලේබල් කරුවන්ට නොහැකිනම් මේ ගීත ප්‍රබුද්ධ නොවේ යැයි කීමට ඔවුන්ට ඇති අයිති කුමක්ද?

මුඩුක්කුව යනු උප සංස්කෘතියකි, එය විවිධ වචන නිර්මාණය කරන අපූරු තෝතැන්නකි, ගුනෙ අයියාගේ බජව් කාමරයත්, ජෙමාගේ සූදු පොලත්,සුද්දි අක්කාගේ කසිප්පු වාඩියත් ඒ උප සමාජයේ මූලික ලක්ශණ ඌ පලියටම ඒ හරහා බිහිවන නිර්මාණ කුණු ගොඩට දැමිය හැකිද?

නිහාල් නෙල්සන් ගැන කිව හැක්කේ ඔහුගේම වදනින් මෙපමනකි...


‘‘කොත නම් කොත කුරුසවලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගේත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත....‍‍‘‘

Thursday, May 15, 2014

බුදුන් නොදකින වෙසක් නාටක.. (මනසින් දකින්නන්ට)

'

පටාචාරා විවේකය මැද
හොරෙන් කිරි දෙයි පුතුගෙ මුවඟට
යලිත් ඇවිදින් වේදිකාවට
හඬයි සැමියා මැරුණු වග දැන..!!

විශාඛාවෙණි බලනු වට පිට
පැමින නැත අර “පාලී“ චරිතය
ඩබල් ඇක්ටිං කොමිස් ගත හැක,
රැඟිය හැකිනම් දෙකම එක ලෙස....!!

ඩී ජේ භක්ති ගීයක
තැටිය කැරකෙව් තැනක
තවම බෙග් අදිනවා
එක තැනක් හිරවෙච්ච....!!

ආලවකලා දවස් පඩියට
දැන් එන්නෙ නෑ ගමේ නැටුමට
දෙබස් අඩුකර දාමු ඒකට
ලෙබ්බෙ අයියව අරං දිගටම...!

අනේ බුදු හාමුදුරුවෝ ඉවසන
දහක් ගිණියම් විදුලි එලි මැද
එතී බඳ තද පුවක් කොටයක
තාම ඇත එල්ලිලා එකලෙස...!

මරඟනක් රහසකින් ඉඟකර
කියන්නේ ගානකුයි රැයකට
වෙසක් සීසන් නිසා හනිකට
ගිහින් එමු දාහකුයි පැයකට..!!

Monday, May 12, 2014

පිටකොටුව දිව්‍ය ලෝකෙකී


-

පිටකොටුව දිව්‍ය ලෝකෙකී
දිවා රෑ නොමැතිව රත්වෙන
දුම්රිය පොළට මාරුවෙන ගුවන් පාළම්
තේජස් පඬුපුලකී,

විකල් රූ ඇන තබා පඬුපුල
දිව්‍ය රූ වෙත අත පාතී
වාසි සූරන සක්‍ර තෙම
කාසි නැතුවම බත් යදිතී

දුම්රියපොළ ඉහළ වහලේ
“කො ළ ඹ“ අක්ශර තුනක් කෙළවර
අඹ බයන්නක් ලෙල්ල ගලවා
කපා පිහියෙන් මිරිස් ගල්වා
පිරී මල්ලක් ගිය ලෙසක් පෑ
තවත් මහතුන් වෙතැයි බලනා..!

තබා ඉහලින් ගොහොර මඟහැර
රුහුණු කුමාරී බෙල්ල පාත්කර
ලැජ්ජාවක් නැති පීලි දෙකක් මැද
තවත් හිසක් සුන්කරා පෝය දින,

මීටර් ත්‍රීවිල් මාතලියක් ඇත
ලොජ් එකකට දාහයි එක රැයකට
සුරංගනාවක් උනත් ගෙනත් දෙන
මාතලියට ඇත සක් දෙව් බල තල...

පිටකොටුව දිව්‍ය ලෝකෙකී
මඩ ගොහොර මැද දිලෙන සඳකී..!!

වැලි ගොඩ දාන තැන...!!

දිය වැල් දෙකක් මැද
පුතු තබා නළවන
එකම එක සුලියක්
තාම ඇත ඒ සිඟිති ඉහ මත...,

ආපසු හැරෙන හැම
මොහොතෙම එසෙද නොබලම
කිමිදුණි අදත් හැම
දවසම වගේ දිය යට,

මරු සිටින තැන එතනය
වපරැස් හොරෙන් හරවන
දැක්කත් බිම බලාගෙන
මවන්නේ පුතු මුහුනමය,

දරදඬු පිරිමි පපුවට
බයේ මරණය හොයාගිය
උඹේ අම්මා ගිළුණු තැන
අන්න එතනයි - වැලි පිරෙන තැන,

දිය යට ගිලෙන හැම විට
හිස් වැලි කූඩ අරගෙන
පුරවා හෙමින් ඔසවන
තාම දිය යට ඈත් දිරි දෙත..!!

Thursday, May 8, 2014

සොහොන් මලෙක..!


-

දැවමුවා සෙල්මුවා හදවත්
අතර තාමත් නොවී හිතවත්
දරනවා මල් උනත් පැහැපත්
නොවේ ඵල ඉන් ලැබුනු කාටත්

හෙමින් අතගා සුසානෙක බිම
මදක් අතගා ගැලූ සායම
තාම ඉකිබිඳිනවා මැදියම
මලක් තනියම ඒ සුසානෙම

ගැලූ ඕජස් පෝමලින් සැර
වසා වනසා පොහොර කර නිර
එසේ දුඟදක් මෙසේ මගහැර
කවුරු මැව්වද දුකක් මල් කර

විටින් විට එසවෙනා අතු හිස්
සෙමෙන් පිරිමැද නොදී පෙම් බස්
යලි යලිත් සිහි කරයි දිවස‍ෙස්
මලෙක යුතුකම මෙයයි අනුහස්...

Monday, April 28, 2014

සයිබර් සිහින බක්මහ උළෙල 2014 සතුට පිරුණ අපූරු තෝතැන්නක් .........


සයිබර් සිහින බක්මහ උළෙල 2014 අති උත්කර්ශවත් ලෙස සැමරුනා...එහි යද්දි මුලින්ම පිළිගත්තේ අපේ නලින් අයියා..ඊට පස්සෙ ගයාන් පෙරේරා දයාබර මිතුරා සුහදව පිළිගත්තා...හර්ශ නෝනිස් අයියා මාව දැක්ක ගමන්ම අඳුන ගත්තා...ඊට පස්සෙ සුදු අයියා...ඔව් සුදුසිංහයා තමයි....ඊට පස්සෙ  චතුර විජේකෝන් අයියත් සෙට් උනා...ගයනි දික්කුඹර අක්කත් ,පුබුදුවාත්, ශා දන්තනාරායනුත්, අපි කට්ටියම එකටම හිටියා..චන්දන ලියනආරච්චි අයියා විහිලු වලින් අපිට අමුතුම සතුටක් ලැබුනා...

සුකුමාල් හරිස්චන්ද්‍ර මල්ලිත් සුපිපි හරිස්චන්ද්‍ර නංගීත් එයාලාගේ මිතුරියනුත් හරිම මිත්‍රශීලී අය. හරිම හිතවත් අය,සයිබරයේ දකිනවාට වඩා අපුරු වචනයෙන් කියාගන්න බැරි හැඟීමක් එයාලා හමුවීමෙන් ලැබුවා..

ගයාන් තාරක..මංජුල සමරසේකර වගේ අපූරු හිත් එක්ක ඒ දහවල අමතක නොවන දහවලක් උනා..

අයේශා දිලිනි, ඔනාල් වගේ අයවත් හමුවීම ඇත්තටම සතුටක්...අමිල චතුරංග මිතුරාවත් හමුවුනා...!!

කොට්ටාපොර අට්ටාලයෙන් වැටෙන්නට මම ගහපු දෙදෙනාටත් මට වැටෙනතෙක් ගැසූ දෙදෙනාවත් නිතරම මතක් වෙනවා...ඇත්තටම එහෙම ගහන එක වැරදියි..ඇති ඇති කියද්දීත් උන් දෙන්නා ගැහුවා..! ඒක හරි අසාධාරණයි ..එහෙමත් ගුටි කන්න පුලුවන්ද?

අමිල නිදහස, කැලුමා, කුරුලුවා ආවේ ටිකක් පහුවෙලා...එතැන් පටන් නටපු පිස්සුවල සීමාවක් නැහැ...නම් මතක්වෙන්නෙත් නැහැ මේ වෙලාවේ එතරම්ම පිරිසක් එතැන හිටියා...අවසානයට ඔන්න මෙන්න වෙනකල් ලඟම  හිටපු සුදු අයියයි , චතුර අයියයි, සුකුමාල්ලාවයි කවදාවත් අමතක වෙන්නේ නැහැ..!! 

ඒක ඇත්තටම අපූරු අවස්ථාවක්...ඒක සංවිධානය කරපු හැමෝටම හුඟාක් ස්තූතියි ..හුඟාක් පින්...හැම කෙනෙක්ම හරිම මිත්‍රශීලීයි...මාරයා..කතන්දරකාරයා වගේ අයත් කතන්දර අයියා දීපු පොතටත් ස්තූතියි..!!

මාත් එක්ක එදා ලඟම හිටපු සුමිත් හිරිඇල්ල අයියා අපූරුම මිතුරෙක්

අපූරුවට අර තාල භාන්ඩේ වාදනය කරපු ඒ වාදකයාගේත් නම මතක නැහැ..! ඇත්තටම එච්චර පිරිසකගේ නම් කොහොම මතක තියාගන්නද? 


නැවත නැවතත් ඒ අවස්ථාව නිර්මාණය කරපු හැම කෙනෙක්ටම ස්තූතියි...පින්....!!

සුකුමාල්...ගයාන්...සුපිපි...සුදු අයියා...චතුර අයියා...ගයනි අක්කා...කුරුල්ලා...කැලුමා...මංජුල....ශා දන්තනාරායන...හර්ශ නෝනිස් අයියා ඇතුලු හැම කෙනෙක්ටම හුඟාක් ස්තූතියි ඒ අපූරු දිනය තවත් අපූරු කරන්නට මිතුරු දමින් වෙලී සිටියාට...!!

ඉතිරි ඡායාරූප පසුවට දාන්නම්..!



                                                  ලොකු කථාවක්...!!

-


                                           අපි ..!

-



ෆොටෝ එකක් ගමුද....!
-

 ඡායාරූපකරණයේ මහ ගෙදර

-

මඩක් නෙමෙයිලු..!

-

හොරාට බැලුම පිපිරූ පසු..!!

-
ඔහොම යං..!

-


අමුතු පොටෝ...
-

මේ කොට්ටා පොර තාලයට ගැසීමක්

-

අපූරු මිතුරන්...
-


මෙතනත් තව තියනවා බලන්න

Thursday, January 16, 2014

සුදු කැස්බෑවා කථා වස්තුව...(-561ජාතකය-2070වර්ශය)




එවක් හී තුරු වෘක්ශලතා හා සත්වයෝ පනත් ගත කොට නීති සකසා සුරැකීය,රාජාධි මැති ඇමතිවරු හැල්මේ දිවුරුම් දී සියල් සත්වයන් කෙරෙහි අනේක කරුනා පාන්නා හ, එ දීපයෙහි ඇනකොන්ඩාවියක් හදියක් කර ගෙවුනේ කෙටි කලෙකි, හැලි කැස්බෑ තෙම විය සිදුරෙන් අහස දකිනු වස් සඳ සිරි නරඹනු වස් චන්ද්‍රසිරී නම් තාබෘ බමුණු කුල බමුනෙකු සරණ යන්නා හ,

මෙකල් හී මේ දීපයට ගව්ගානක් ඈතින් වන මුතු මාළයක හැඩ ගත් දිවයිනකි, එහි පාළනයට රිස්සෙකු මනදොළ සපුරා ගනු වස් හැලි කැස්බෑවෙකු සොයන්නා හ, මේ දිවයිනෙහි හැලි කැස්බෑවෝ සඳ සිරි බලනු දිවැසින් දුටු මුතු මාළ දිවයිනේ රජ තෙම,රාජ පුරුශයෙකු ලව්වා වටිනා මිලක් ගෙවා හැලි කැස්බෑවා කොකුන් ලව්වා කෝටුවක එල්ලා තම දිවයිනට ගෙන්වීමට කටයුතු යොදන්නා හ,

එවක් හී එක් ගාන්ධර්වයෙකු තැරැව්කරු වෙස් ගෙන සඳගිරි පව්වට ගොඩවන්නා හ, එකල් හී චන්ද්‍රසිරි නම් බමුනු තෙම,හැලි කැස්බෑවෝත්, කළු කැස්බෑවෝත්,අතරත මනා සුවයෙන් දිවි ගෙවමින්, වෙනත් දේශවල සිට පැමිනෙන දෙවි දේවතාවුනට කැස්බෑ වරුණ කියමින් දිවි ගෙවන්නා හ,

තැරැව් වෙස් ගත් ගාන්ධර්ව තෙම, එම්මා චන්ද්‍රසිරිය ඔබට රිසි පමණ මම මුදල් ගෙවමි ,හැලි කැස්බෑවා මා සතු කරණූ යැ,ඉල්ලීය, ඉල්ලීමට අවනත නොවූ තැන ගාන්ධර්වයා සන්ද්‍රසිරි බමුනා කෙරෙහි කිපී ගර්ජනා කරන්නා හ, ..

මෙසේ දින සති ගෙවී යත්, පුන් පෝ දා සඳ අහසට නැගෙද්දී දිනක් චන්ද්‍රසිරි බමුනා කැකිල්ලේ රජුගේ පළමු පරම්පරාවේ නියෝජිතයන් සොයා ගොස්, තම හැලි කැස්බෑවා චුත වී ඇති හෙයින් ඒ පිළිඹඳව ගාන්ධර්ව තැන සැක සහිත බව කියන් නා හ,

එවක් හී ගාන්ධර්ව තෙම රාත්‍රී යකඩ රථ තරඟ බලන්නා හ, ඔහු නිවැරදිම බව දක්වන්නා හ,මැති ඇමතිවරු ,රජ සිටුවරු, පස්වනක් ප්‍රීතියෙන් ඇළලී ගිය ඇනකොන්ඩි කථා වස්තුව අමතක කොට හැල කැස්බෑ ප්‍රශ්ණය කෙරෙහි අවධානය යොමුකලහ,

හදිසියේ අතුරුදහන් වූ හැලි කැස්බෑවා නෑගම් යන අටියෙන් චන්ද්‍රසිරි බමුනාගේ නිවසින් නික්මී බමුනාගේ දියනියගේ නිවයට ගොස්,කා බී, දිය කෙලියේ යෙදී සිට යෑමට සූදානම් වද්දී මේ කැස්බෑ අවුල දැක මෙසේ වදාරන්නා හුය,

ප්‍රිය චන්ද්‍රසිරිය, ප්‍රිය අමල....මා සිතු සුවයෙන් කා බී දිය කෙළ සිටි සඳගිර දැන් දැන් විඩා බරය,එහෙයින් මා ටික කලක් විවේක සුවයෙන් කල් ගෙවනු වස් බමුනු දියණිය නිවසට නික්මුනෙමි, ඈ අති සුන්දරය,තරුණය, මේ මහලු බමුනා තරම් රළු නොවන්නේය, සොමි ගුණ ඇත්තේ ය, මෘදු වදන් ඇත්තේ ය, එහි මා මෙන්ම හැලි කැස්බෑ තුන් බෑ යකි, එකෙකු සමුදුර ගොඩ ගැලූ දින නික්ම ගිය වගක් දක්වන්නාහ, ප්‍රිය අමල, මා එදා සඳගිරෙහිම උන් සුදු කැස්බෑවා වන්නෙමි,
_____________________________________________________________
සියල්ල කෙරෙහි අවධානය යොමුකල විනිසුරු තෙම, අමලද නිදොස්කර, චන්ද්‍රසිරි බමුනාද සේවකයාද ඇප මත නිදහස් කර, නොදන්වා නෑ ගම් ගිය වරදට හැලි කැස්බෑවා වේලක් හැර වේලක් කෑම ලබාදෙන දෙහිවල බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කිරීමට නියම කරන ලදි,

එකල් හී හැල කැස්බෑවා නම් මෙකල් හී පරිසර ඇමතිය,චන්ද්‍රසිරි බමුනා නම් මේ අමාත්‍ය උපදේශකය, අමල නම් ගන්ධර්වයා අප මහා අග විනිසුරුය,

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න..