Tuesday, December 24, 2013

සුභ නත්තලක් යුදාස්ටත්


නාසරෙත්හීත්, ගැලීලියේත්
බොහෝ පා ලකුණු තැබීමී,
කල්වාරි මග රුධිරයෙන් තෙත් කලෙමි,
ඉඳහිටක යන විට එහෙ මෙහේ
නොබලනු යුදාස් ඉස්කාරියොත් ඒ දෙස..!

කස පහර එතරම්ම රළු නැත
කටු ඔටුනු එතරම්ම විශ නැත
කුරිසයද එතරම්ම බර නැත
කල්වාරිය තුඟු නැත එතරම්ම,

මරියාවෝ එදවස ජන්ම පත්‍රය ලියද්දී
දැන නොසිටියා විය යුතුය අද දවස ගැන
නොමැති නම් ඒ කඳු මුදුනත ,හොවා ලැම මත
දරුපෙම් කුරැසය ඇය නො ඉසිළනු ඇත....

ආමේන්......

යුදාස් ඉස්කාරියොත් ,මේ නත්තලටත්
මම නුඔට සුභ පතමි,...!!

උඨ්ඨානයද වීර්‍යයද මම වෙමි...!

chaminda pradeep silva gunarathne

Monday, December 23, 2013

ග්‍රේශන් ආනන්ද නික්මගොස් (29)තුන් වසරයි...

-

දින හතරකට(2013-12-23-2013-12-29) පොරොත්තුව ලියා තබමි, ඒ අකාලිකව සිත් සතුටු කල චරිතය නික්මී විසි නව වනදාට තුන් වසරකි,


1958 මාර්තු මස 15වැනි දින මහනුවර උපන් ග්‍රේශන් ආනන්ද අබේකෝන්, 2010 දෙසැම්බර් මස 29වැනි දින මිය යන විට වයස 52ක් විය. ඔහු තංගල්ලේ කුඩා කුසුම් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා, වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාලයට ඇතුළු විය. උපතින්ම සංගීත හැකියාව දායාද කරගත් ඔහු, ගායනයට පමණක් නොව, සංගීත භාණ්ඩ රැසක් වාදනය කිරීමේ ප්‍රතිභාවද උරුම කර ගත්තේය. ඔහු පියානෝ වාදනය සඳහා ලන්ඩන් ඩිප්ලෝමාවක් ලබා ගත්තේ එම උපන් ප්‍රතිභාව නිසාය.
මෙම සංගීත හැකියාව නිසාම, ඔහුට මුල් කාලයේ Fortunes, Dreamers, Seac, Superstet, වැනි සංගීත කණ්ඩායම්වල ප්‍රධාන ගිටාර් වාදකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුනි. ඔහුට සංගීත ක්‍ෂේත්‍රයේ ඉදිරියට එන්නට අවස්ථාව උදාවුනේ ස්ටැන්ලි පීරිස් සහ සරත් දසනායක වැනි ප්‍රවීණ සංගීතඥයින්ගේ අනුග්‍රහය නිසයි.
සිය ප්‍රථම ගීතය, "ඈත දුරක දෑස පාවෙලා" නීලා වික්‍රමසිංහ සමඟ ගයමින්, 1978 ගායන දිවියට මුල පුරන විට, ඔහු අවුරුදු 20ක තරුණයෙකි. එතැනින් පටන්ගත් ගායන දිවිය තුල ඔහු ගීත 500කට වැඩි ප්‍රමාණයක් ගයා ඇති බව කියවේ. එසේම, සේන සමරසිංහගේ "මල් කැකුළ" චිත්‍රපටියට ගී ගයමින් ඔහු පසුබිම් ගායනයට පිවිස, චිත්‍රපටි 200කට පමණ සිය මෝහණිය හඬින් ගී ගැයීය. 1994දී, රජදරුවෝ චිත්‍රපටිය සඳහා ඔහු ගායනා කල අමරණිය ගීතය සඳහා හොඳම ගායකයාට හිමි සම්මානයද ඔහුට හිමි වුනා.
ඊට අමතරව, සිංහ පැටව්,දුර්ඝා,රන්දෙණිගල සිංහයා, ආදී චිත්‍රපටි 15ක් සඳහා සංගීත නිර්මාණයෙන්ද දායක වුනා.
වෙනත් ගායකයන් සතු නොවු, උපතින්ම ලත් සුවිශේෂී හැකියාවක් ග්‍රේශන් සතු වුනා. එනම්, ගීතවලට ගැලපෙන ලෙස සිවුරුහන් බෑම සහ යූඩ්ල් කිරීමය. ජෝතිපාල ගැයූ බොහෝ ගීත සඳහා පසුබිමින් යූඩ්ල් නාදය ලබා දුන්නේ ග්‍රේශන්ගේ මියුරු හඬයි.
ඔහු අවසන් වරට ප්‍රසංගයක් සඳහා ගීත ගායනා කලේ "මියැසි විශාකා" ප්‍රසංගය සඳහායි. ඔහුගේ වෙන්න යාම සිංහල චිත්‍රපටි සංගීතයට දරා ගත නොහැකි පාඩුවක්.
ග්‍රේශන් ඔබ අපට ලබාදුන් නොමියෙන ගීත රසයට අප ඔබට ණය ගැතියි. ඔබගේ අත්මය සමාදානයේ සැතපේවා.
chaminda pradeep silva gunarathne
info-sl-spirit-

Thursday, December 19, 2013

මැති ඇමතිවරුන්ට ලිංගාශ්‍රිත රෝග සඳහා උපදේශන කමිටුවක් ඉදිරියට



බස්නාහිර පලාත් සභාව ඉදිරියේදී විසුරුවා හැරීමට නියමිතය, බස්නාහිර පලාත සඳහා එක්සත් ජාතික පක්ශයෙන් නදීශා හේමමාලි නම් දැන උගත්, විනීත , බුද්ධිමත් තැනැත්තිය ඉදිරිපත් වන බව පක්ෂ අභ්‍යන්තරය පවසයි, එජාපය හෝ බස්නාහිර එජාප පාක්ශිකයන් ගැන කථාකරන්නට දෙයක් ඉතිරිව නැත, ඒ බස්නාහිරට අයත් ගම්පහ දිස්ත්‍රීක්කය නදීශා හේමමාලිම වන් දැන උගත් බුද්ධිමත් කාන්තාවක් පාර්ලිමේන්තුවටද යවා ඇත, ඈ උපේකශා ස්වර්ණමාලීය, අප ඈ හඳුනන්නේ පබා ලෙසය, සැබවින්ම ඇයද මල් පබාවකි, මේ කරලියට එන්නේ ඈට වඩා “මලේ මල්“ පබාවකි,

-


දේශපාලනය පිණිස සුදුසුකම් ලෙස ගැනෙන්නේ කැපවීමට වඩා ඇලවීම නම් ඈ තරම් තවත් සුදුසු චරිතයක් නැත, ඒ බැව් අනුන්කෙලී අකර්ශාවට (සමාවෙන්න අනර්කලී ආකර්ශා )මනාව පසුගිය කාලයේ මනාව ගම්‍ය කරන ලදි,

එජාපය බුන්නත්ය, ඒ බුන්නත් බව නිරැවතින් වසා ගැනීමට එජාපය ගන්නා “සක්කිලි“ තීරණයකි මේ නදීශා හේමමාලි මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීම, නදීශාට අමතරව නිල්මිනී තෙන්නකෝන් ගැනද රාවයක් මතුවෙමින් පවතී,

ඉදිරියේදී මැති ඇමතිවරු සියල්ලටම ලබා දෙන වරප්‍රසාද වලට අමතරව නොමිලේ ලිංගික රෝග සායන, උපදේශන සේවා ක්‍රියාත්මක කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවේ, එය පැටවෙන්නේද ජනතාව මතය, දැන් පාර්ලිමේන්තුව “ඕල් ඉන් වන්“ පැකේජයකි, මුදල් යහමින් වියදම්කොට දියවන්නාව තරණය කර තීරුබදු රහිත වාහනයේ සිට පළමු පන්තියේ ගනිකාව දක්වා අතිශ්‍ය සුඛෝපභෝගී ජීවන රටාවකට හිමිකම් කිව හැක,

උපේක්ශා ,ගීතා, අනර්කලී,නිල්මිණී ට අමතරව සුධර්මාද මේ මැතිවරන සඳහා එන්නේ නම් හුලාට පවා හිතට සහනයක් ගෙනදෙනවා ඇත, එය රටක් ලෙස අප සතුටු විය යුතු කාරණාවකි,

එජාපය පිස්සං කොටුවක් වී අවසන්ය, නාඩගමක් වී බොහෝ කල්ය, අප වැනි පාරම්පරික එජාප පාක්ශිකයන්ට දැන් සිදුව ඇත්තේ සාමාජික කාඩ් පත පුච්චා නළලේ අළු ගා ගැනීමය,

අති උතුම් බස්නාහිර එජාප ජනතාව පබාව මෙන් මේ නදීශාවද පාර්ලිමේන්තුව දක්වා ගෙන යනවා නොඅනුමාණය, එහෙව් ජනතාවට ජාතියේත් අන්තර්ජාතිකවත් උත්තමාචාරය හිමි විය යුතුය,....!!

වයඹ ජනතාවෙනි ! උඹලා අතිශය උදාර පිරිසකි, උඹලා කාඩ්බෝඩ් චරිත කරලියෙන් එළවා දැමීය, ! නමුදු අප ඇතුලු බස්නාහිර ජනතාව ගැන ඇත්තේ දුකකි,!

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න..

Tuesday, December 17, 2013

කාන්තාවකට බුද්ධත්වයට පත්විය හැකිද?


-


නිසැකවම ඔව්..කාන්තාවකට බුද්ධත්වයට පත්විය හැකියි, නමුදු නූතන කාන්තාව ඊට සුදුසුදැයි පැණනගින ප්‍රශ්ණයයි,


ගෞතම බුදුන් පළමුව විවරණ(නියතවිවරන නොවේ) ලබාගත්තේ කාන්තාවක් ලෙස සිට බව ඔබ දන්නවාද? මේ ඒ ඉඨි කුමාරී කථාවස්තුවයි,

පුරාණ දීපංකර බුදු දවස සුමේධ නමින් තවුසෙක් විය .ඒ නමින්ම මතු බුදුබව පතා පුරාණ දීපංකර බුදුන්ට අයත් ගඳකුටිය වටා සිද්ධාර්ථ තෙල් (සිද්ධාර්ථ තෙල් යනු අබ තෙල්ය)පහන් දල්වමින් තමන් මතු බුදුබව පැතීමේ ප්‍රාර්ථනාව කිරීම මේ සුමේධ තවුසාගේ සැඳෑ සමයේ වැදගත්ම කාර්‍යය විය, එක් දිනක් සිද්ධාර්ථ තෙල් සොයා ගැනීමට නොහැකි විය, නියතවම සිද්ධාර්ථ තෙල් තම සොහොයුරියගේ නිවසින් ලබාගත හැකි යැයි සිතූ මේ බෝධිසත්වයන් ඉඨිකුමාරිය නම් තම සොහොයුරිය වෙත ගොස් “ මා සෑම දිනම පුරාණ දීපංකර බුදුන් වෙසෙන කුටිය සිද්ධාර්ථ තෙල් පහන් දල්වා ඒකාලෝක කර මතු බුදුබව පතන බවත්,අද දින පූජාව පැවැත්වීමට තෙල් නොලැබුන බැවින් තෙල් පූජා කරන ලෙස කාරුණීකව ඉල්ලීය, ඇය නොපැකලී තෙල් ලබා දුනි, එසේ ලබා දී දැහැමින් කල් ගෙවන තමාත් මතු බුදු බව පතන බව දීපංකර බුදුන්ට දන්වන මෙන් ඉල්ලීය,.


තම සොහොයුරිය කල ඉල්ලීමටද සවන් දී සුමේධ තවුසා සුපුරුදු පරිදි බුදුන් වෙසෙන ගඳ කුටිය වටා පහන් දල්වන්නට විය, වෙනදාට වඩා ප්‍රමාදව මේ ක්‍රියාව කරනු දුටු බුදුන් ඔහුගෙන් ප්‍රමාදයට හේතුව විමසන ලදි, එවිට තමාට තෙල් සොයාගත නොහැකි වූ කාරනාවත් තම සොහොයුරිය තෙල් ලබා දුන් අයුරුත්,ඇය බුදුබව පැතූ අයුරුත් දැන්වීය, එවිට පුරාණ දීපංකර බුදුන් වදාලේ, එය තමාට ප්‍රාර්ථනාවක් ලෙස කල හැකි බවත්,ඊට පසු ඇය පිරිමි ආත්මයක ඉපදීම සඳහා විවරන ලබා ගතයුතු බවත් එය කල හැක්කේ ඇගේ ස්වාමියාට පමණක් බවත් වදාලහ,

සුමේධ තාපසයාට තව තවත් පැහැදිලි කරමින්,

ස්වාමියාගේ සියළුම කරුණු,පිලිවෙත් නිවැරදිව ඉටුකරමින්, වන්දනා මාන කරමින් , බිරිඳක ලෙස,මිතුරියක ලෙස,මවක ලෙස, ඉටුකල යුතු සියළු යුතුකම් ඉටුකල පසු ස්වාමියා තම මරණ මංචකයේදී මරණයට මොහොතකට පෙර ඈ විසින් සිදුකරන්නට යෙදුන කාරණා සිහිකර,“මතු බුදුබව පිණිසම අත් භවයේ පිරිමියෙකු ලෙස ඉපදේවා“ ලෙස යම් සැමියෙකු පතයිද, ඒ පැතූ කාන්තාව කෙරෙහි යම් බුදු කෙනෙකු ප්‍රාර්ථනාවක් කරයිද,ඇය ඒකාන්තයෙන්ම බුදු වනු ඇත,


මා දැක්වූ මේ දහම් කරුණු තහවුරු කරමින් යම් වෙනස්කම් ඇතත් මහාචාර්‍ය බෙල්ලන ඥාණවිමල නාහිමි දක්වා තිබූ අදහස පහත දැක්වේ...

ඔව්. අපේ අටවිසි බුදුවරුන්ටත් පෙර සෝළසා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් කල් පාරමී දම් සපිරූ බුදුරජාණන් වහන්සේ නමක් පූර්ව දීපංකර නමින් ලොව පහළ වී සිටියා. එදවස අප මහ බෝසතුන්ට (සුමේධ තවුසාට) පළමු වරට නියත විවරණ දුන් දීපංකර බුදුරදුන් ද තාපසයෙකුව ඉපදී උන්නා. මේ දීපංකර තාපසයා පුරාණ දීපංකර බුදුන්ට තෙල් පහන් පුදා මතු කලෙක තමන්ද එනමින්, එලෙසින් ම බුදුවන බවට අධිෂ්ඨාන කෙරුවා. ඒ අනුව හැමදාම මේ දීපංකර තවුසා පුරාණ දීපංකර බුදුන්ට තෙල් ගෙන ගොස් දීම සිදු කළා.

එක් දිනක් එක ගෙදරකින්වත් තෙල් බිඳක් සොයා ගන්න බැරි වුණා. එහිදී දීපංකර තාපස තෙම රජමාලිගාවට තෙල් සොයාගෙන ගියා. මේ රජ මැදුරේ සිටි කුමාරිකාවක විසින් ඇගේ සිය ඥාති සොයුරා වූ පුරාණ දීපංකර බුදුන් උදෙසා නොපැකිළිව තෛලය ගෙනවිත් තාපසයා වෙත දෙනු ලැබුවා. එම අවස්ථාවේ දී ඇය විසින් තමන් තුළ ද මතු බුදු බව ප්‍රාර්ථනා කිරීමට ඇති අතිමහත් කැමැත්ත පිළිබඳව සිය සොයුරු පුරාණ දීපංකර බුදුන්ට දැනුම් දෙන ලෙසත් පවසනු ලැබුවා.


ඒ අනුව, පුරාණ දීපංකර බුදුන් සිය නැගණියගේ අතීතාත්ම පිළිබඳ ස්මරණයක යෙදී ඇයට මෙම සිතුවිල්ල මීට ආත්මභාව තුනක සිට ඇති වූවක් බව දැක, මතු සෝළසා කල්ප ලක්‍ෂයක් ගිය තැන නිර්මාණය වන සාර මණ්ඩ කල්පයේ දී බුදුවන ඔබගෙන්ම නියත විවරණ ලැබ ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් බුදු බව ලබන බව දීපංකර බෝසත් තවුසාණන් සමඟ පැවසුවා. එලෙස රජ මැදුරේ කුමරියක වී සිද්ධාර්ථ තෛලය පූජා කළේ, අප ගෞතම බුදුපියාණන් වහන්සේයි.

...බෙල්ලන ඥාණ විමල නාහිමි...

අද කාන්තාව ස්වාමියාගෙන් විවරණ ලබන්නට තරම් සුදුසුද? ඒ ඔබ සිතිය යුතු කරුණයි..!!




චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න...

Sunday, December 15, 2013

සර්වඥ ධාතූන් බෙදී ගිය හැටි ඔබ දන්නවාද?




බුද්ධ පරිනිර්වාණය සිදුවුන බව රාජකීය වෛද්‍ය වරුන්ගෙන් දැනගත් අජාසත් රජු අධික ලෙස රෝගාතුර විය , විටින් විට සිහි නැති විය, බෙහෙත් ඔරු හතක් රජු සුවපත් කිරීම සඳහා භාවිතා කරන්නට සිදුවිය, පසුව රජු බුදුන් වැඩ විසූ ස්ථාන වෙත ගොස් ඒවාට වඳිමින් හඬමින් කල් ගෙවන්නට විය, පෘතග්ජනයෙකු වූ අජාසත් රජු සේනා පිරවරා කෙසේ හෝ ර්වඥ ධාතූන්ගෙන් හරි අඩක් තමා ලබා ගන්නවා ය යන චේතනාවෙන් මල්ලව රජ දරුවන්ට අයත් සල් උයන ආශිතව කඳවුරු බැඳ සිටිය හ, විශාලා මහනුවර ලිච්චවී රජුන්ද,කිඹුල්වත් පුර ශාඛ්‍ය රජ දරුවන්ද,අල්ලකප්ප බුලී රජ දරුවන්ද,රාමගාම හී කෝලිය රජුන්ද,පාවා නුවර මල්ලව රජ දරුවන්ද,චේතදීප හී භ්‍රාහ්මනයෝද යුධ කොට හෝ ධාතූන් වහන්සේලා හරි අඩක් ලබා ගැනීමට කටයුතු කරන බව දැන්වීය,

මල්ලව රජ දරුවන් සියළුම ධාතූන් තමන්ට අයිති බව කීවේ බුදුන් තම රාජධානියේ මහා පරිනිර්වාණය සිදුකල හෙයිනි,

සිදුවන්නට යන මහා විනාශය තේරුම් ගත් ද්‍රෝණ බ්‍රාහ්මනයා මහා ගර්ජනාවක් කලහ, ද්‍රෝන සියළු රජවරුන්ගේ ගුරුවරයා වූහ, පසුව ද්‍රෝණගේ හඬට සියල්ල අවනත විය, සම සමව සියළු ධාතූන් බෙදාදෙන බව ඔහු පොරොන්දු විය,

ශ්‍රී දේහය ආධාහනය කල පසු ලෙණ විවරකරන අවස්ථාවේ එහි විශාල ප්‍රමාණයේ ධාතූන් හතක් තිබිය යුතු විය, ළලාට ධාතුව,වම් අකු ධාතුව හා දකුණු අකු ධාතුව,ධන්ත ධාතූන් හතරක් ලෙසය ,

නමුදු ඛේම මහ රහතන් වහංසේ ඉර්ධියෙන් දෙණ දැවෙද්දීම සියුම් ශරීරයක් මවා දකුණු දළදාව තම අතට ගෙන තිබේ,

දෙන විවර කල වහාම රජදරුවෝද හිමිවරුද හඬා වැලපෙන්නට පටන් ගත්හ, මේ අතර ද්‍රෝණ බ්‍රාහ්මනයාට මෙසේ සිතිනි, මේ සියළුම ධාතු බෙදා දුන් පසු මට වන්දනාව පිණිස කිසිවක් ඉතිරි නොවේ..එසේ සිතා රහසේම ඉතිරිව තිබූ දන්ත ධාතූන් තුන එකක් ජටාවේත්, අනික,ඉනේත්, ඉතිරිය පාදයේත් සඟවා ගනු ලැබීය,

කිසිවෙකු නොදැක්ක නමුත් සක්‍රයාත් දහදහසක් ලෝක ධාතූන්ගේ දෙවි වරුන් මෙය දිටි හ, ශක්‍ර දෙවියන් සියුම් අතක් මවා ජටාවේ වූ දකුණු දන්ත ධාතුව ගත් හ, එය සිදුහතුන්ගේ කේශ තැන්පත් කර ඇති සිළුමින සෑයේ තැන්පත් කරන ලදි, අනෙක් දන්න ධාතූන් පිළිවලින් ඝටීකාර මහා බ්‍රහ්මයාත්, ජයසේන නම් නා රජුත් ලබා ගත්හ, ඛේම මහ රහතන් වහන්සේ ලබා ගත් ධාතුව කලිගු රටේ රජුට පිරිනමන ලදි, (එය දන්න කුමරු හා මාලිය මෙරටට රැගෙන ආ හ)බ්‍රහ්මයන් තම දන්ත ධාතුව සිදුහතුන්ගේ ගිහි වස්ත්‍ර තැන්පත් කර ඇති සළු මින සෑයේ තැන්පත් කරන ලදි,

දෙනේ ඉතිරිව තිබූ ධාතූ ප්‍රමාණය රන් නැලි අටක් විය, ඒ සියල්ල රජ දරුවන් අතර සමසේ බෙදා දෙන ලදි, ඒ අතර මුංපියල්ලක, කඩ සහලක, අබ ඇටයක ප්‍රමාණයේ ධාතූන් විය, පමා වී තවත් රජවරු ආහ, ඔවූහූ සඳුන් දරින් කල ආධාහන සෑයේ අළු හා ඉතිරිව තිබූ දෑ රැගෙන ගිය හ,

ද්‍රෝණ බ්‍රාහ්මනයා සියළු කටයුතු අවසන තමා සඟවා ගත් දන්ත දාතූන් පිරික්සීය, ඒ සියල්ලම අතුරුදහන් වී තිබිනි, නමුදු ඔහුට සැනසෙන්නට සියළු ධාතූන් බෙදූ රන් නැලිය විය, ඔහු එය තැන්පත් කරවා වෛත්‍යක් ඉදිකරන ලදි,

රජ දරුවෝ තම තමන්ට ලබා දුන් සර්වඥ දාතු තැන්පත් කරවා චෛත්‍ය කරවා පුද සැලකිලි දැක්වූහ...අළු හා දැව කොටස් රුගෙන ගිය රජ දරුවන් අංගාරව නම් චෛත්‍යක් කරවන ලදි,

සියළු ධාතූන් එසේ බෙදා තුන් මසක ඇවෑමෙන් ධර්ම සංගායනාවක් මහාකාශ්‍යප තෙරුන්නේ මූලිකත්වයෙන් පැවතිනි,

ඉන් පසුව දිවැසින් අනාගතයේ මේ ධාතූන්හට සිදුවන ව්‍යවසනය දැක නැවත ඒ බෙදා දුන් රන් නැලි අටෙන් හතක් එකතු කල යුතු බව මහ හරතන් වහන්සේ අජාසත් රජුට දැන්වීය..රජු තරමක් බිය විය, ඒවා නැවත ලබාගතහොත් නියතවම යුද්ධයක් ඇතිවිය හැකිය , රජු ඒ බව මහාකාශ්‍යප හිමිට දැන්වීය,

මහා කාශ්‍යප හිමියන් රජු අමතා..ධාතු එක් රැස් කරන කාර්‍ය මහා රහතන් වහන්සේලා සිදුකරන බවත් පුද පිණීස ධාතූන් යම් ප්‍රමාණයක් රඳවා අනෙක් සියල්ල රැගෙන එන බවත් ඒවා දැන්පත් කිරීමට පොළව යට ආරක්ශික රන් කරඪු හතක් කරවන ලෙස දැන්වීය,

අටක් බෙදා දුන් පසුව යලි හතක් පමණක් එකතු කිරීම රජුට මහත් ප්‍රශ්ණයක් විය..රජු මහ රහතන් වහන්සේගෙන් එය විමසීය..මහ රහතන් වහන්සේ කියා සිටියේ රාමග්‍රාමයේ කෝලිය රජදරුවන්ට දුන් නැලිය ආරක්ශා කරගත යුත්තක් නැත, එය නා ලොවට වැඩමවා පසුව ශ්‍රී ලංකාවේ රජ වන දුටුගැමුනු නම් රජෙක් ස්වර්ණමාලීනම් චෛත්‍යක් කරවා එහි ආරක්ශිතව තැන්පත් කර රැක ගනියි යන්නයි,

පසුව රජු විසින් පොළව යට කරවූ චෛත්‍ය ගර්භයක රන් කරඪු හතක බහා සර්වඥ ධාතූන් මතු රජවෙන ධර්මාශෝක නම් අධිරාජ්‍යයාට පමනක් විවරකර ගත හැකි වනසේ දෙවියන්ගේද ආරක්ශාව සහිතව වාසලසංඝටක නම් මන්ත්‍රෙයන් ආරක්ශා කර කිසිවෙකුට නොපෙනෙනන්ට තබන ලදි...එහි දැල්වූ සිංහ තෙල් පහන්ද, මල්ද, සුවඳ දුම්ද රහතන්වහන්සේලාගේ බලයෙන් නැවත වසර දෙසීය පනහකට පසු විවර කරන මොහොත දක්වා දැල්වෙමින් සුගන්ධවත්ව පැවතුනුබව කියවේ..

වසර දෙසීය පනහකට පමන පසු රජවූ ධර්මාශෝක රජු සියළු ධාතු එක් කරවා චෛත්‍ය අසූ හාරදහසක් කරවා එකම දින ධාතු තැන්පත් කල බවත් කියවේ..

ශ්‍රි ලංකාවේ බුදු දහම ස්ථාපනය කිරීමෙන් පසු සුමන සාමනේරයන් අත දේවානම් පියතිස්ස රජුට යොදුනක් යොදුනක් පාසා වෙහෙර විහාර කරවන පොරොන්දුව මත බුදුන් වැළඳූ පාත්‍රයද නැලියක් සර්වඥ ධාතූන්ද දුන් බව කියවේ..

ළලාට ධාතුව නාග ලෝකයෙන් ගෙනවිත් සේරුවාවිල චෛත්‍යක් කරවා තැන්පත්කරන ලදි, දකුණු අකු දාතුව ථූපාරාමයේ ස්ථාපිත කල බවත්,සෝමාවතිය තුල එක් දන්ත ධාතුවක් ස්ථාපිත කරවා වැඳුම් පිදුම් කල බවත්, අනෙකුත් දළදාව ශ්‍රි දළදා මාලිගයේ තැන්පත් කර ඇති බවත් දැක්වේ..

මෙලෙස බලන කල ධාතූන් අඩක් යුධ කරහෝ බලා ගැනීමට තැනූ රජවරුන් අභිබවා ශ්‍රී ලංකාවට හිමිවී තිබේ ඒ මෙරට තුල ඊට අවැසි ආරක්ශාව ඇති බැවිනි..එය ඉදිරියට රැක ගැනීම බෞද්ධ ජනයා සතු යුතුකමයි..!!

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න.

Thursday, November 7, 2013

ලිංගික අසහනය හා සමාජ වෛරය හෙවත් සර්පයාගේ දියණිය හා පිරිමි ගොඩයි මම විතරයි.

ලිංගික අසහනය පිටකිරීමට කුමනාකාරයේ මාධ්‍ය භාවිතාකලද අපට ගැටළුවක් නැත..නමුදු ඊට උත්තරීතර මාධ්‍යයක් භාවිතාකරයිනම් ඊට එකඟත්වයක් දැක්විය නොහැක..

කාන්තාව ලිංගිකත්වය කුමන රාමුවකින් දකීයැයි ගැටළුවක් මතුවන්නේ සාම්ප්‍රධායික රාමුවකට කොටු වූ ලාංකීය වැනි සමාජ වැසියන්ටය..නමුදු ශිෂ්ඨ යැයි සම්මත සමාජයකට එම ගැටළුව ඊටත් තදින් බලපායි..ලිංගිකත්වය යනු පියා මවගේ සිරුරේ කිරි වල්වා ලෙවකන අයුරු දැක්වීමනම් හෝ පියා දියනියගේ සිරුරේ කිරි ගල්වා ලෙවකෑම නම් උපේක්ෂා නුවන්ශ්‍රී නි නිවැරදිය..මේ මාගේ වදන් නොවේ සර්පයාගේ දියනිය කෘතියේ එන උපේක්ෂාට සොඳුරු වදන්ය...සර්පයාගේ දියනිය කාගේ ලිංගික අසහනය පිටකිරීමක්දැයි මා දන්නේ නැත...මේදාගේ හෝ පූර්ණාගේ අසහනය ඉන් පිට නොවුනානම් නියතවම උපේක්ෂා නුවන්ශ්‍රීනි ගේ අසහනය ඉන් පිට විය යුතුය..කාන්තාවක් මෙසේ කෙසේ ලීවාදැයි මා හට දැඩි ගැටළුවකි..උපේක්ශාගේ පොත තුල "පට්ට වේසි" යන වදන හරිම සුරතල් ය..එය එතරම්ම භාවිතාකර තිබේ..තම පියාටත් වැඩි මහලු පෙම්වතෙක්ගෙන් ජීවිතය සොයනවා යැයි උපේක්ශා කියන විකෘති ලිංගිකත්වය යැයි අපිට පෙනෙන මේ කෘතිය තුල මා හටත් සමස්ථ ලාංකේය පාඨකයාටත් අසහනය පිට කිරීමේ මාධ්‍යයක් හැර අනෙකක් නොපෙනේ..මා මිතුරු කොළඹ විශ්වවිද්‍යාලෑදුරෙකු කීවේ" පිරිමින්ට ස්ව්‍යං වින්දනයේ යෙදෙන්න පාරවල් හදන එක තමයි මේ.......වේ......කරන්නේ මේවා කියවන හැට පැනපු අසහනකාරයන්ට මේවා රත්තරන් වගේ ,මොකද බිරිඳ ගෙන් මේවා දැනගන්න බෑනේ,"සම්මානත් ලැබෙයි..!

මා ඔහුට දහස්වර එකඟය,මේ පොත වයස අවුරුදු 12/16 දරුවෙකුට හමුවුව හොත් පත්වන ඉරනම සෝචනීය වේ..සර්පයාගේ දියණියගේ පාටින් ලෝකය බලන්නට ඔවුන්ගේ පර්යේශනාත්මක මනස පෙලඹෙනු නියතය,කාන්තාවක් තුල මෙතරම්ම දරුණු ලිංගික අසහණයක් තිබිය හැකිද?රැඩිකල් යනු මෙය නොවේ..එය පැහැදිලිව දැනගන්නට සුනේත්‍රා නම් වූ විශිෂ්ඨ ලේඛිකාවගේ නන්දිතයේ සිට කවි කඳුර දක්වා කියවන්නැයි උපේක්ෂා නුවන්ශ්‍රීනිට යෝජනා කරමි..



වෙළඳාම පිනිස ලිංගිකත්වය යොදාගත්තානම් "අනේ මන්දා" හැරෙන්නට වෙන කියන්නට දෙයක් නැත.එකම ගැටළුව නම් "වැරදීමකින් හෝ මේ පොත ගෙදරගෙන ගොස් දුවට හෝ පුතාට හසු වුවහොත් කුමක් සිදුකරම්ද යන්නයි,

පිරිමි ගොඩයි මං විතරයි ලියන්නේ උපුල් ශාන්ත සන්නස්ගල විසිනි,ලාංකේය නවකථාකරුවා දෙකේ පන්තියට දමන මා දුටු සර්පයාගේ පුතා මොහුය..බටහිර ලිංගික රූප රාමු සහිත විත්‍රපටයක් සිහි ගන්වමින් ලියා තිබෙන මෙය දෙවැනි වෙනවානම් සර්පයාගේ දියණියටම පමණකි..ලිංගිකත්වය" මාර්කටින්ම "කරන සන්නස්ගලලාට අරුමයක් නොවේ..කොහේ හෝ මුල්ලක සමලිංගික ක්‍රියාවක් හෝ විකෘති ලිංගික ක්‍රියාවක් දක්වා "දතක් ගැලවිම" සන්නස්ගල ක්‍රමෝපායයි..එය ලාංකේය කාන්තාවටත් බෝ වීම සර්පයාගේ දියනිය විදහා දක්වයි..

මා ඉහත දෙදෙනාගෙන්ම වනකථාව කුමක්දැයි ප්‍රශ්ණ කරමි..වණ කථා නව කථා නොකරන්නැයිද..ඔබ තුමිය හා තුමා විකෘති ලිංගික තෘප්තියක් බලාපොරොත්තු වනවානම් වෙනත් මාධ්‍යක් තොරා ගන්නා ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිමි,මා මෙය ලියන්නේ විචාරකයෙකු ලෙස නොවේ රටේ සාමාන්‍ය පුරවැසියෙකු ලෙසයි.."අපේ දරුවන්ට අපි මොනවද මේ කුණුහරප කියෙව්වොත් දෙන උත්තර" දෙමාපිය ලිංගික සබඳතා සඳහා හා දරුවන් යනු මාතෘකා දෙකකි..දැඩි ලිංගික අසහනයකින් පසුවන උපේක්ෂා නුවන්ශ්‍රීනිට මෙය නොපෙනෙන්නේ මවක් නොවන නිසා විය යුතුය..කාන්තාව මීට වඩා සංවර විය යුතුය..සර්පයාගේ දියනිය තුල ලිංගිකත්වය හැර යමක් නැත..එයත් විකෘති ලිංගිකත්වයක් වීම තවත් සෝචනියය...


අවසාන වශයෙන් කියන්නේ සහ ඉල්ලන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ගෙන් හා උපේක්ෂා නුවන්ශ්‍රීනි ගෙන් මතු මතුවටත් පොත් ලියනවානම් මෙවන් අසහනය පිටකරන පොත් නොලියා සමාජයට යමක් ගතහැකි දෙයක් කරන්නට කියාය..නැතිනම් උපේක්ෂාගේ වචනයෙන්ම කියනවානම් ............වේ.......නොවන්නට කියාය..අපට දරුවන්ද දරුවන්ට රටක්ද තිබේ ..එය ගොහොරුවක් කරන්නට හදන මෙවන් නිර්මාණ නිර්මාණ කරුවන්ද සමඟ ගිනිබත් කල යුතුය..මෙය වෛරී සිතුවිල්ලක් නොවේ..කුණු කානු සෝදා හැරිය යුතුය නැතිනම් විෂබීජ සමස්ථ සමාජයටම කරදරයකි..


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

Tuesday, November 5, 2013

කෙටිම කෙටි කථාවක්...



මං ඔයාගේ ෆොටෝ එකක් ගන්නවා..

එපා..පහක් ගන්න...පහක් මොකටද?

දෙකක් එෆ් බී දාන්න දෙකක් බ්ලොග් එකට අප්ලෝඩ් කරන්න...ඉතිරි එක ලඟම යාලුවට දෙන්න..

මැට්ටි...

බය නැද්ද එහෙම කලාට...

නැහැ.........

මං එහෙම කලොත් මොකද කරන්නේ...

මංද?

හ්ම්...

පිරිමියෙක් බාගයක් පිරෙන්න චූ කරපු ටියුලිප් බෑග් එකකට අර ගෑනු හිත දාලා හොඳට හොල්ලලා නුවර වැවට වීසි කරලා බේරෙ වැව මූදට වැටෙන තැනින් මුදට පනිනවා..සුරංජි රැඩිකල් වැඩියි....

වෙන්නැති...මට කලින් මෙහෙම අන්තිමට ඉඳපු කෙල්ලව මතකද?

නැහැ..

ශුවර්.ද?..

උපන් ලප හතරකුයි පුංචි කැපුම් පාරකුයි මතකයි.....

කැපුම් පාර කොහේද තිබ්බේ........

දණ හිසට තරමක් උඩට වෙන්න..........

සුරංජි ලැජ්ජා වූවා වන්නට පුලුවන...සුරංජිගේ දෑස් කෝල ලෙස වටයක් කරකැවී ඉහලට එසවුනේ අමුතු චමත්කාරයකිනි...

හ්ම්...එපමනකි කෙඳුරූයේ........

මං මෙතන ඔලුව තියාගන්නං....හා ද?

අවසර ඉල්ලන්නද ගෙනෙවේ..

මා සුරංජිගේ නිරුවත් කලවා මත හිස තබා ගතිමි...

අපේ හම්බන්තොට මාමට ගඩොලා පෝරණුවක් තිබ්බා...එතන හුඟාක් රස්නෙයි...

මා එසේ කියා නිමවනවාත් සමඟම සුරංජි මගේ හිසට සෙමින් පහරක් ගැසුවේ මැට්ටා කියමිනි...

සුරංජිට මාව තේරෙනවා........

සියඹලාන්ඩුවේ හේං ගොවියෙක්ට බොම්බාස්ටික් වලින් ජීවිතේ කියලා දෙනවා වගේ තේරෙනවා..

නෑ ....ක්‍රිස් ගේල්ට සිංහලෙන් ආදරෙයි කිව්වා වගේ නෙමෙයිද ? මැට්ටි.....

කෝපි එකක් බොමු.......

හා... ම් ම්...මං සීතලයිද? දැන් නෑවේ එනිසා වෙන්නැති...සුරංජි පොරොත්තුවම වරද භාර ගත්තාය..

නෑ එනිසා නෙමෙයි එතකොට නින්ද යන්නෑ..

එතකොට...

අපිට කතා කරන්න පුලුවන් හුඟාක් රෑ වෙනකල්..

මොනා ගැනද?මොනා හරි....

උදේ වෙයි ඉක්මනට එතකොට....

කමන්නෑ......

කොෆී ගෙනල්ලා දොර අරින්න මං බාත්රූම් එකට යන්නං...

ලැජ්ජයිද ඔහොම ඉන්න...

යස්...පිරිමි දෙන්නෙක් එකපාර මෙහෙම දකිනවට අකමැතියි...

පිස්සු කෙල්ල......මං එන්නද එළියට...

සුරංජි කථාකලේ හඬ සඟවාගෙනය....

චන්ඩියා..එන්න..එන්න....ගියාඔය ගෑණු කමද?

නෑ...

එහෙනම්...

ගෑණු කම...

හ්ම්...

මටත් සිගරට් එකක්...

ඔයා...සිගරට්...

හ්ම්..මොකද පිරිමින්ට විතරද හොඳ?

මේ වෝග් නේද?

හ්ම්......ස්විස් වෝග්...

අපි නිදාගමු....තුනත් පහු..හඳ තාම තියනවා...

යන්න කියන්නද?

එපා ..කර්ට්න් එක පහත් කරන්න..

රැය පහන් වූවා ඉක්මන් වැඩි යැයි සිතුනි..නිරුවත් ලමැද මත සිරවූ දෑත ඉන් මිදුනේම නැත..සුරංජී හදිසියේ පිබිදුනේ මා හද රිද්මය වඩා වැඩි වූ නිසා වන්නට පුලුවන...

හොඳටම ලේට්...

සුරංජි...

හ්ම්.....

මගේ නමවත් අහන්නැද්ද?

සුරංජී සිනාසුනේ ලාබාල ළදැරියක සේය..

අවශ්‍ය නැහැ මිස්ට..

මං කැමතියි සුරංජිව බඳින්න..සුරංජි හුඟාක් විවෘතයි...

සොරි...මම හිතන්නේ මට වැරදියට වැටහුනේ..කමක් නැහැ ඉක්මනට ලෑස්තිවෙමු..පෙරහැර සීසන් නිසා මාසෙම බුකිං තියනවා..හරි අප්...

මං සුරංජිව යන ගමන් දාගෙන යන්නම්...

එපා...මිනිස්සු මහත්තරුන්ට කැමතියි..අපිට අකමැතියි...

මං බඳිමු කිව්වේ සීරියස්........

එපා...මං බයයි හීන දකින්න..

මාත්...

මොනවටද? හීන පෙන්නන්නද දකින්නද?

දෙකම...

මගේ නම දැන්වත් අහන්නැද්ද?

නෑ..එපා..

එහෙනම්...

මොකක්ද?

උදව්වක් කරන්න..

කියන්න මං කරන්නම්..

ප්ලීස් මාව හපන්න..

හපන්න?

රිදෙන්න පාර හිටින්න...

මොකටද?

මගේ උපන් ලප තිබුනද?

නෑ..

කැපුම් පාරවල්..

නෑ..

එහෙනම් මාව ඉක්මනට අමතක වෙයි...මතක හිටින්න පැල්ලමක් තියන්න..

අපි බඳිමු..

ප්ලීස් මට මේ උදව්ව විතරක් කරන්න.............

Sunday, November 3, 2013

01)පූර්විකාව-(සෘතු දෙකක් තුර)

-


මිනිසා හදුනාගත හැකි පහසුම ක්‍රම දෙකකි .පළමුවැන්න ජයග්‍රහනයකදීය, දෙවැන්න පරාජයකදීය,


කාලාවකාශයේ නවාතැන් පමනක්ද ?ගමන් මග පමණක්දැයි සිත නිතරම විමසන ගැටලුවකි,නවාතැන්ම වේ නම් මා නැවතී සිටින්නෙක්ද? ගමන් මගක්ම නම් මා ගමන් කරන්නෙක්ද යන්න මා විසින්ම මාවෙතින් විමසයි.

ඉහළට නැගි පසු නැවත පහලට පැමිනෙන්නේ නැතිනම් ඉනිමඟින් ඇති කාරියක් නැත, මන්ද ඉනිමඟ අවැසි වන්නේ පහත සිටින්නන්ටය, පහත සිටි උන්ට සම තැන් පත්වන්නට මා ඉනිමගක් වුවාදැයි සැක කලත්,එසේ විනි යැ කියා ම ඔසවා යන්නැයි කිසිවෙකුට කිව හැකිද?

වසන්තය මෙන්ම ගිම්හාණය ගෙනෙන්නේද සුළඟය, මට වසන්තය නොගෙනා කාරනාව කවරෙකුට ප්‍රශ්ණ කල හැකිද ස්පර්ශකල වත් නොහැකි සුළඟින්..?

සදාතනික සත්‍යන් පවතී, හිරු නැගෙන්නා සේම බැස යයි, ඒ එවැන්නකි, එමෙන්ම අප පිළිගැණීමට අකමැති සදාතනික සත්‍යයන්ද වෙත්, දරුවෙකු උපදින්නේ දෙමාපිය ලිංගික සංසර්ඝයෙනි, අපේ අම්මා තාත්තා එසේ කලා යැ, එසේ වී යැ පිළිගන්නා දරුවන් වෙද්ද?

මා හුදකලා වීමී, හුදකලා බවට අසීමිතව පෙම්කරද්දී,අල්ලාප සල්ලාපයේ යෙදෙනා ඈ දෙස බලා සිටිමි, මා ඊට ප්‍රිය නැත මන්ද මා පිළිගන්නේ ප්‍රියසාද වලට වෛර කිරීම නොව,මවාපෑම් කරනා තොරොම්බල්වාදී හිත් වලට වෛර කිරීමටය,

භාවිතා කරන්නට මිනිසාද කදිම ‍මෙවලමකි, එය රිසි ලෙසකට භාවිතා කරන්නට පුලුවන,

ඈ ප්‍රිය සාද සඳහා ඇලුම් ය, කථාවටත්,ඕපාදූපයටත්, අල්ලාප සල්ලාපයටත් ඇලුම්ය, අරයා එසේය,අනෙකා මෙසේය,අනෙකා කන්නේ බොන්නේ අඳින්නේ මෙසේය ආදිය පමණක් ඈ ජීවිතයේ සෙවිය යුතු පරම සත්‍ය ලෙස දැක සොයයි, නිරීක්ශණ කරයි නිගමන වලට පැමිනෙයි, ඈ සතු අපූරු මිතුරු හවුලකි, හිමිකරුවෙකු සහිත නිදහස් ගැහැනියක්ද ,හිමිකාරියක් සහිත වලව්කාර පිරිමියෙක්ද ඒ අතර ප්‍රධාන විය, ප්‍රාථමික ආසියාතික ලක්ශන සහිත මේ සුහද හමු ,ඕපාදූප,අල්ලාප සල්ලාප, කෙඳිරිලි, කෑකෝ ගැසිලි මානසික හිරිහැරයක් ලෙස නොදකින්නටත් ,ඒවා ගැහැණු ගති යැයි සිත සනසා ගන්නටත් තරම් මා පොහොසත් නොවීම පසුතැවිල්ලකට කරුණකි,

සිසිර සෘතුවක පළමු සතියේ අප වෙන් වන්නට තීරණය කලෙමු, අඩුපාඩුම සොයන්නට සිත් දීම පිරිමින්ට සහජ වන්නා සේම,අඩුපාඩ පෙන්වීමට ගැහැණු උපන් හපන් කම් දක්වයි,

මවු සෙනෙහස දැනෙන්නේ දරුවෙකු වැදූ මවකටය, සැමියා වටින්නේ විවාහක බිරියකටය, පෙම්වතා වටින්නේ ප්‍රේමවන්තියකටය, ඒ සියල්ල නොදැනේ නම් ඒ භාවිතය පිණිසම ස්නේහේ දැක්වූ අයෙකුටය,

කඩින් කඩ කියා නොකියූ කථා ගොන්නකි, ඒ නොකියූ කථා කොටස් ලෙස මෙසේ ගොණු කරමි, සතියකට පාරක් සුදු කළු හීන අතර අළුපාට හීනයක් දකින්නට යෞවනයා වෙත ගොඩවෙන මෙන් කාරුනිකව ඉල්ලමි.



මේ පුර බුදූහූ නූපදිති.


-


මවක් නැත සුදු නෙළුම පැදකුණු කරන මෙනුවර
දිරූ සයනත ඇතෙක් නැත සුදු උලා___ පැමිනුන
අනෝතත්තය පිදූ නෙළුමත් අලෙවි කල ___සඳ
අහෝ බෝසත් පෙකෙනි වැල හා එතී ඇකයෙම

කලින් කල බැස තව්තිසාවෙන් යලිත් එහි_ යන
පිරූ පාරමි බල වෙතත් පුර කොහෙන් _විමසන
සල් උයන් මැද උපදින්න නැත සොයා කුල මල
අවසරය ගත යුතුය වෙන්දේසියෙන්___ ඉඩමක

උපන්නත් සත් පියුම් එකිනෙක ඇනී මිය __යන
වැට කඩුලු පැන සත් පියක් ඉපිලෙම්ද කෙලෙසක
වඩා ඉඳුවර හීන කොඳුරන අඳුරු _____වෙරලක
අහෝ පාලන උපත් මැති සඳ ලබති ___බලයෙන

සාරසංඛය කල්ප ලක්ශය හැඳින දැන ආ මග _______ප්‍රවේශය
ඇතුලු වනු බැහැ වසා ඇත දොර පියන් පත් අතගගා මන දොල
පටාචාරා මිසක නැත වෙන මෙහෙට එන්නේ විශාඛා ____යස
පිළිණු බත් මිස වෙන කිසිත් නැත වැඩිය මුත් තව්තිසාවෙන් බැස

+චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

ඈ අම්මා ය



ඈ අම්මා ය |

-


_____________
ආකාසය ස්වේත මල් හලද්දී
ඒ සුවඳ නේරංජනාවේ දියකර
ලොවක් සුගන්ධවත් කල අම්මාය ඈ..

දස මාර සේනා සල් පිල් වලින්
උණු බත්ම ඇඟ අලවා
රහසේම කුසගින්න උහුලා
කුස පිරූ ඈ අම්මාය ඈ..

උත්පලවන්නාද,කිසා ගෝතමියද
පටාචාරාද,විශාකාවද
අම්බපාලිය නොවූ ඈ අම්මාය...

සෝපාක ,මහ ධන සිටු කරන්නට
ඇස් ඉස් මස් ලේ ඇට නහර
අන්දුන්නාය ඈ කිසිවක් නොඅසාම
කිසිවක් නොබලාම...

ඇන්දාය නොඇන්දාය
වින්ඳාය නොවින්දාය
කෑවාය නොකෑවාය
අන්ඳවා වින්දනය කොට කවාලූ
ඈ අම්මාය..

දහසක් යොදුන් ඇවිද
වියැලුණු ඟඟක්ව
මහ වැසි වසින්නටම ආකහට
දිය බිඳෙන් බිඳ වඩන
ඈ අම්මාය...

කුසිනාරාවද,බුද්ධගයාවද,ලුම්බිණියද
මහා බෝ මූලයද,
ගංගාද,යමුනාවද,
නේරංජනාවද,අචිරවතියද,සරඹුවද
මහීද ඈය..

ඈ අම්මාය.....

Saturday, October 26, 2013

බ්ලැක් ජැක්..

සිදුහත් උනත් එගොඩ වූයේ
කන්ථකගෙ පිට නම්
මේ රුදුරු නේරංජනාව.
ගමේ බුකියෙන් මං නැග්ගාම මොකද
බ්ලැක් ජැක්ගෙ පිට උඩ.....

සංසාර ගඟ, නියං සා විතරක්ම
වනද්දී ඇරඹුම් කොඩි,
අන්තිම තුට්ටුවත් මම පුදමි නුඹ නමට,
දිණුම් කණුව නුඹ පසුකර
පපුව පැළුනත් කමක් නැත.......

Wednesday, October 23, 2013

ඇතුලාන්තය.

ඈ විශාඛාවය,............
සෙබස්තියන් පල්ලියේත්
කන්‍යාරාමයේත් මුලුතැන භාර,
පන්සල් නොයන-මුත් නිවන් යන
ඈ විශාඛාවය,අබලන් සැමියෙක්ද
අඳ දරුවෙක්ද සතු......

අල්තාරය මත තබා ඳිලිඳු ආත්මයම
යුදාස් කුලයේ දේවාත්ම සුදු කබා කළු පටි
අනවසර ආශා ලිහා දමද්දී
ඈ අවනත වූවාය කුරුසය දෙස නොබලාම,

අපහසු ඉරියව්වකදී ,ගුජුප්සාවකදී
ඈ බැලුවාය කුරුස හිස
කල්වාරි පියගැටට ඉහලින්
කටු ඔටුණු,කස පහර දැරූ සිරුර දෙස
යාන්තමින් විලි වැසූ,ආත්මය විවර කල,

ඉකි ගසද්දී මරියාවෝ,ඈ කඳුලු දෙව්වාය,
මරියාවෝ මෙන්ම ඈද හැන්දෑ අහස යට
හොවා අඳ දරු උකුලත කීවාය නෑසෙන්න
‘මමද කුරුසය ඉහිලුවා පුතුනේ ‘යැ..........

Monday, October 21, 2013

මඟහැරුණ කඳුල....

-
අඬන්නටේ කියලා එහෙමත්ම බර කඳුලු අම්මගේ දැසේ තිබුනේ නැත...අම්මා ජීවිත කාලය පුරා එතරම්ම් හඬා තිබිණි..."අන්න උඔලගේ මහ එකාව අදත් පොලිසිය අරන් ගිහිල්ලා" අම්මා කිව්වේ කියන්නට කෙනෙක් නැති නිසා වන්නට පුළුවන...
මොනා කරලද මෙදා පාර..

වෙන මොනවද? අර කරුනෙගෙ කසිප්පු වාඩියේ ලැගලා...

උසාවි දාලා තියෙන්නේ කවදටද?

මා එසේ විමසුවේ එම සිද්ධිය මා හට එතරම්ම බර පතල නැති බැවිණි...

පව්......මා එසේ කිවා නොවේ කියවිණි...

අනේ මන්දා ගේ දිහෑ පිච්චියක්වත් නැහැ..පොඩි එකාගේ පංචායුදේ විතරයි තියෙන්නේ..සෝමෙ අක්කට දිලා රුපියල් පන්සියක් වත් ඉල්ලගන්න බලන්න මම මේ යන්ටේ කියලා...මල්ලිව බලා ගනින්..

කරුනේ මාමා තාත්තව එළියට ගනිවි..මොකද මේ පළවෙනි වතාව යැ මෙහෙම උනේ...

මා කටින් නොකිව යුතු යමක් කියවිණි..

මොකද බොලට හතර මහ නිදානේ පහළ වෙනවද මහ මිනිහා හිරේ වැටුනහම...දවස් දෙක තුනක් කන්නේ අහවල් එකයැ...

හ්ම්.....

මා කිසිවක් කියන්නට ගියේ නැත..

මහ මිනිහා හැමදාම කොලේ බැරල් කරගහපු එකයි උසාවි නැඟපු එකයි විතරයි...කරුණෙලා රජවරු වගේ වැඦබෙනවා...තූ නොදෝකින් පාහර හැත්ත...

මල්ලි පංචායුදේ ගලවලා දුන්නද? මා විමසුවේ මද සිනාවකිනි...

හ්ම්..නහයෙන් අඬලා අඬලා ඔය දුන්නේ....

අහිංසකයා...මා මල්ලි ගැන දුක් වුනෙමි..

තාත්තා මේ හැමදේම කලේ අපි වෙනුවෙන් උවත් අපි තාත්තා මඟ හැරීමට උත්සහ කලෙමි...හේතුව ලැජ්ජාව විය යුතුය..අප කොතරම් අසාදාරනදැයි මම මගෙන්ම ප්‍රශ්ණ කලෙමි...

මහා බරැති බැරල් ඔසවා යන තාත්තා නවතින්නේ දෙබොක්කාවේ වක්කඩ අසලය...කිලෝ මිටරයක් පමන ඔහු හැල්මේ එය ගෙන යයි...පසුව දර මිටිද..සීනි මිටිද ඔසවා එසේ හැල්මේ දුවයි..පසුව ගිණි ජාලා මැද වඩිය පෙරාගනි....පසුව බූලි පුරවා නැවත කරුනාගේ තිප්පලට එයි..මේ සියලු කාරනා ඉටු වූ පසු තාත්තාට ලැබෙන සොච්චම ගෙන තාත්තා දුවන්නේ පියසීලී අක්කාගේ කඩයට ය..හැකි උපරිම බරට මල්ලක් ඔසවා ඔහු නිවසට එයි...හැන්දෑවේ තාත්තා එසවූ බර කන්ද පොළවේ තබන්නේ උදේ බඩු මල්ල කුස්සියේ තැබු පසුවය..

තාත්තා මහන්සියට දහවල් දවසම නිදයි..එයද කුකුල් නින්දකි..වාහන හඬක් කන වැකුණු විගසම අවදිවන්නේ ගැහෙමිනි...පොලීසිය ,.උසාවිය..මහ උළු ගෙදර තාත්තාට අළුත් නැත..එහෙව් තැන් වල අලගිය මුලගිය තැන් දනි..සියළු නිළධාරීන් හොඳින් හඳුනයි...මුත් කිසිදු පිළිගැණීමක් නැත...

තාත්තා අපගැන සොයා බැලුවාද නැද්දැයි යමෙකු මගෙන් විමසුවහොත් මා හට දීමට පිළිතුරු නැත..හේතුව අපද තාත්තා කසිප්පු කාරයා යැයි හණ ගසා තිබෙන නිසා විය යුතුය...

තාත්තා බේබද්දෙකු නොවේ..නමුත් නොබොන්නෙකුද නොවේ..අනෙක් ගම් වැසියන් මෙන් ගහ මරා ගැණිම් දකින්නටවත් යන්නේ නැත..ඔහු වැඩිපුර වෙසෙන්නේ හුදකලාවම ය..

මා තාත්තා ගැන මතකාවර්ජනයක යෙදුනෙමි...තාත්තා තාත්තා වෙනුවෙන් කරගෙන තියෙන්නේ උසාවි පොලිසි ගානේ නම සටහන්කර තැබිම පමණි..අන් සියල්ල අප වෙනුවෙන්මය.අළුතෙන් යැයි යමක් ඔහු ඔහු වෙනුවෙන් කවරදාකවත් මිළදි ගෙන නැතුවා විය යුතුය..කමිස දෙකක් සරම් දෙකක් හෝ තුනක් හැරුණුකොට කිසිවක් ඔහු වෙනුවෙන් නොමැත..අඩුපාඩු වෙතත් බොහෝ අඩුපාඩු තාත්තා අප වෙතින් දුරස් කර තැබූහ..කැමට යමක් වැරදුනේ නැත..කොටින්ම අප බඩගින්නේ සිටියේ නැත..

අම්මා නැවත පැමිනියේ රුපියල් පන්සියයක්ද අතැතිවය...

අම්මේ තාත්තව බේරගන්න කියක් දෙන්න වෙයිද?

මොකද උඔ දෙන්නද?

නැහැ...... මගේ මේ මාලෙට කීයක් බැංකුවෙන් ගන්න පුළුවන්ද?

ඔය බොලගේ අත්තම්මා උඔ ඉපදිච්ච වෙලේ කරේ දැම්ම එක..උන්දෑ මතක් වෙන්නත් ඔච්චරයි තියෙන්නේ ..අම්මා හූල්ලයි..

කීයක් ගන්න පුළුවන්ද කියන්නකෝ..

විසි දාහක් විතර පුළුවන් වෙයි.. මොකද උඔ එහෙම අහන්නේ...

නෑ මුකුත් නැහැ...අම්මා යන්න පරක්කු වෙයි....

මල්ලිව හොඳට බලාගනින් මං එනකල්.....

අම්මා එසේ කියා ගියේ සුදු සාරිපට යාන්තමින් පටලාගෙන ය.

අම්මා ගොස් ටික වේලාවකින් මල්ලිව සිරියාවති නැන්දාට භාර දි මා ග්‍රාමිය බැංකුවට ගොස් මාලය උකස් කර ගතහැකි උපරිම මුදල ලබාගතිමි..රුපියල් විසි හය දහසක් එහි විය...

තාත්තට බයිසිකලයක් හදවලා දෙන්න ඹ්නේ පිටිපැස්සට බඩු ගෙනියන්න පුළුවන් වෙන්න ලොකු බක්කියකුත් ගහලා...පොලේ මාමාගෙන් එළවළු ලොරියේ උදේම කොළඹ ගියානම් අඩු ගානට හුඟාක් දේවල් ගන්න පුළුවන්....මේ අපේ තාත්තා..අපිට වෙන කවුරුවත් නැහැ..තාත්තට මොකක්හරි උනොත් අපි ඔක්කෝම මහ පාරෙ තමයි..

රැලේ තරමක් පැරණි බයිසිකලයක් පාල අයියාගේ වින්කලයෙන් මිලට ගතිමි ..හන්දියේ පට්ටලයට බයිසිකලය දුන්නේ බක්කියක් රෝද දෙකක් දමා සාදවන්නටය...සියල්ල නිමවා කිසිවක් නොවුනු ලෙස මම නිවසට ගියෙමි...අම්මා ගෙදර පැමින නැත...මම මල්ලිද එක්කොට නිවසට ගියෙමි..

හතර පසුවිය...අම්මා හෝ තාත්තා තවම නැත..හතර පහ වූයේත් පහ හය වූයේත් තත්පර මිනිත්තු කරමිනි...

හැන්දෑවේ හතට පමන අම්මා ගෙදර පැමිනියේ බොහෝ පිරිසක් සමඟය....

කෝ අම්මේ තාත්තා...

අම්මාගෙන් පිළිතුරක් නැත...

කෝ අම්මේ අපේ තාත්තා.....මම කෑ ගැසීමි.....

උඔලෑ තාත්තා එන්නෑ පුතේ....අම්මා මට පුතේ කී පළමුවර එයයි..

මොකක්ද වෙලා තියෙන්නේ...කියන්න....මම බැගෑපත් වුනෙමි...

කිසිවෙකු කිසිවක් නොකියයි......

කියපිය යකෝ තාත්තට මොකද උනේ..

පියදාස අයියා කෝච්චියට බෙල්ල තියලා...

මා සිහි විකල් විය..

පොලීසියේ ඉඳපු මිනිහා කොහොමද එහෙම මැරෙන්නේ..මම මහ හඬින් කෑ ගැසිමි..

උදේ දහයට විතර තාත්තව අවවාද කරලා අළුත් ලොකු මහත්තයා ගෙදර එවලා...තාත්තා පොලිස් ලොකුමහත්තයත් එක්කලා අපේ හැම විත්තියක්ම කියලා..අපි දෙයියෙක්ව මරාගත්තා...අම්මා මොර දෙයි..
අපි උඔලගේ තාත්තව තනි කලා....තාත්තා අපිට නොකිවට එව්වැයින් විඳවලා...ඊයේ රෑ එළිවෙනකල් බඩගින්නේ ඉඳලා කන්න ගෙනත් දෙන්න කවුරුත් හිටලා නැහැ...ලොකු මහත්තයා අහලා උඔලෑ ගෙදර එවුන් මැරිලද කියලා...උඔලෑ තාත්තා කෑ ගගහා අඬලා....මට කවුරුවත්ම නැහැ මම මහ කාලකණ්නියෙක් කිය කිය...උදේ ලොකු මහත්තයා අනුකම්මපා කරලා ගෙදර එවලා...අනේ දෙයියනේ මොන විපත්තයක්ද උනේ ..එහෙම්මම ගිහින් හිතේ අමාරුවට කෝච්චියට පැනලා....

පසුදින තාත්තාගේ මිනිය ගෙදරට ගෙනෙන්නට මොහොතකට පෙර පට්ටලේ අයියා තාත්තා වෙනුවෙන් සෑදවූ බයිසිකලය නිවයේ ඉදිරිපස මිදුලේ නැවැත්වූයේ අපිට හෙට ඉඳලා පියදාස අයියගේ එලෝලු කන්න පුළුවන් කියමිනි..

මා බයිසිකලයේ පැටලය දෙතුන් වරක් කරකවා බැලුවේ මාහට පවුලක බර අදින්නට එය සවිමත්දැයි කියාය. ..


Sunday, October 20, 2013

දෙතොල සිපගමි....

-
 
සිප ළමැද නෙක රටා ගෙනදී
සියල් නෙත් අභියස කියා
තවත් පාරක් දෙතොල සිපගමි
නුහුරු සීතල දෙන නිසා.....

දෙනෙත නිදි සුව විඳින මුත් නුඔ
පපුව ගැහැනේ නැති නිසා
දෙ අත් පපුවට තබා බැන්ඳෙමි
බැඳීමක් වෙන නැති නිසා..............
 
 
 
 
 

Saturday, October 19, 2013

මං සල්ලි ගෙනාවේ දරුවගේ පංචායුදේ විකුනලා

මනුශ්‍යයන් කුමනාකාර දැයි තීරණය කරන්නේ හුදු යහපත් හෝ අයහපත් සිතැඟිමද? එසේනම් ඒ කිතුවිලි පාළනය වන්නේ කුමක් මතද? මිණිසුන් නොමිනිසුන් නිර්මාණය වන්නේ කුසගින්න මතමයි, ඉන් ඔබ්බේ යහපත අයහපත තීරණය වන්නේ නැත, බඩගින්නට නිදා ගන්නා හා කම්මැලිකමට නිදාගන්නා දෙකොට්ඨාශයකි, වැඩිපුර සිතුවිලි උපදින්නේ බඩගින්නේ නිදාගන්නා මිනිසුන්ටය, සිතුවිලි කෙසේ පහල වුවද කුසගින්න විසින් මිණිසෙකු මෙහෙයවූ විට සිදුවන්නේ අනෙකකි, දරුවන්ගේ කුසගිනි දරාගත නොහැකි මව්වරු දිළිඳු බිලිඳුන් මරා දමයි, ඒ කුසගින්නේ මෙහෙය වීමෙනි,තවකෙක් කුසගිනි දරාගත නොහැකි විට සොරකමද, පැහැරගැනීම්ද කරයි, ඒ කුසගින්න මෙහෙයවන හැටිය, ඉන් ඔබ්බේ සිතුවිලි එවිට දකින්නට නැත. රුපියලක් අවශ්‍ය පුද්ගලයාට කෝටියක උපදෙස් වලින් ඵලක් නැත,

“අයියේ මං දවස් දෙකකින් හරියට කෑවෙ නැහැ,බුදුහාමුදුරුවන් පල්ලා දරුවගේ පංචායුදෙයි ගෙදර කන්න තිබුනු වී ටිකයි විකුනලා ,සනසෙන් තව ණයකුත් අරන් රුපියල් හතලිස් පන්දහක් හොයා ගත්තා මට ලංකාවට යන්න ඕන,මාව ඒජන්සි කාරයෝ රැවැට්ටුවා මං ආවෙ ක්වේයිට් මාව බොරු කියලා බෝඩර් පන්නලා මෙහෙට ගෙනාවා දැං මං පාරෙයි පල්ලි වලයි ඉන්නේ“

කුරුනෑගල පැත්තේ කොබෙයිගනේ ග්‍රාමයේ තරුණයෙකුගේ අඳෝනාවට මට සවන් දෙන්නට සිදුවූයේ පසුගිය දින යම් කාර්‍යයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිකාර්‍යාලය අසලට ගිය විටයි,

“නාන්න තැනක් නැහැ, කන්න දෙයක් නැහැ, දරුවව මතක් වෙනකොට පපුව පත්තුවෙනවා...“

ඒ පත්තුවෙන්නේ දයාබර පියෙකුගේ සෙනෙහසය,දයාබර පියෙකුගේ අව්‍යාජ සිතිවිලිය, අව පැහැ ගැන්ව තිබූ ඇඟලුම්, වැවුණු හිසකේ , කැඩුනු පාවහන බොහෝ දෑ කීය, මා ඒවා දෙස එතරම්ම ගැඹුරින් නොබැලුවෙමි, ඒවා බලමින් ඒ කථා අසන්නට තරම් හිතේ හයියක් නැත,

ඒ කොල්ලට බොරුවක් කියන්න උවමනාවක් නැහැ, මේ පොදු සමා කාලය, ඕනම හොරෙක්ට,තක්කඩියෙකුට, වෙසගනකටම ,කැළනිය වැඳ පවු කමා කරගත්තා වාගේ සෞදියෙන් ඇඟිලි සලකුණක් හෝ නොතබා යෑමට අවශ්‍ය පහසුකම් නොමිලේම රජය ලබා දී තිබේ, එහෙව් වටපිටාවක මේ තරුණයා කීවේ සැබෑවකි,ඔහු ක්වෙයිට් රාජ්‍යයට පැමිනි නිසා වගකීම් භාරගරනීමට සෞදි රජය හෝ තානාපති කාර්‍යාල සූදානම් නැත, ඒජන්සි කරු දිනා අසරණයා පරාජය වී තිබේ...මෙය ලියද්දී සිත් ටීවී නාරද අයියා කියන අපූරු වදනක් සිහිවේ..“මුදල් හා බලය ඇත්තේ වෘකයන් වෙතය, හදවත් ඇත්තේ දිලින්දන් වෙතය, අවාසනාවකට ඒ තරුණයාගේ කථාව ඇසූ මාද දෙවැනි තැනය, මා මට හැකි උපරිමය කලෙමි,ඔබටත් කරන්නට දෙයක් ඇත, ඒ මුදලින් නම් නොවේ දන්නා අයෙක් වේනම් විදේශසේවා නියුක්තිකාර්‍යාංශයේ වගකිව යුතු නිළධාරියෙකුව හෝ අමාත්‍යතුමාව මේ ගැන දැනුවත් කරන්න,

අප කුසගින්නේ සිටිද්දී අප අසලම ජීවිතය බෙදාගන්නා වුන් රස මසුලෙන් කුස් පුරවනවා අප දැක ඇත්තෙමු, අප සබඳතා නැවතිය යුත්තේ ඒ කුස් සමඟ නොව දුක නොදැනෙනා හිස් සමඟය, අප අනන්තව ප්‍රශ්ණ සමඟ සිටිද්දී සාද පවත්වන අපේ ළඟම සිතැඟි හඳුනනා අය සිටිය හැක,අප සබඳතා නැවතිය යුත්තේ සාද සමඟ නොව ඒ සිත් සමඟය,අප හදවත් ඇති දිලින්දන් වීම අතිශය දුකට හා කණගාටුවට කාරණාවකි,..

Friday, October 18, 2013

බ්ලොග් අවකාශයේ සහෘදයන් වෙත නැවතත් දන්වා සිටින වග නම්,


බ්ලොග් අවකාශය තුල චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න යන මා නමින් ගූගල් ගිණුමක් පවත්වා යමින් ඉන් බ්ලොග් අඩවි වල කමෙන්ට් දමන්නේ ආචාර්‍ය සුජිත් සුජිත් නිශාන්ත හේවගේ නැමති ලිංගික අසහන කරු බවත්, ඒ සම්භන්ධව මවිසින් පරිඝණක අපරාද ඒකකය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත, එහෙයින් ඔබගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ මා නමින් වන කමෙන්ටුවක් වෙත්නම් එය ඉවත් කරන්නට කටයුතු කරනා ලෙසත්, නොඒසේනම් හැකිනම් ඒ සම්භන්ධව මා දැනුවත් කරන ලෙසත්,නොමැතිනම් 0112326979 යන පරිඝණක අපරාධ ඒකකය වෙත හෝ පොලිස් මූලස්ථානයේ පර්ඝනක අපරාධ අංශයේ 0112691692 දැනුම්දෙන ලෙස කාරුණිව ඉල්ලාසිටිමි..

Thursday, October 17, 2013

උපුල් ශාන්ත සන්නස්ගලගේ හෘදශාක්ශියද මේ?

දෙදහස් දහතුනේ ජනවාරි තුන්වනදා මේ පාර දිගේ බ්ලොග් අඩවියේ පලකරන ලද ලිපියකි.
-

මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලිනි’ කියලා. ඒ වගේ මගේ ජීවිතේ නිර්මාණය කරන්නෙ ආදරය සහ කුසගින්න.

අම්මා පිළිබඳව මට මුලින්ම මතක් වෙන්නෙ, අපි ඔක්කො ම අම්මගෙ චීත්තෙ පොරවගෙන රෑට නිදාගන්න එක. අපේ පැත්ත සීතලයි. අපේ නිවෙස්වල පොරවන්න රෙදි තිබුණෙ නෑ. ඒ නිසා අම්මගේ චීත්තයට පොරකනවා ඒක පොරවගන්න. අපේ පවුලේ දහදෙනයි. අම්මගෙ උණුසුම දැනෙන නිසා සුවඳ දැනෙන නිසා ඒක ලබාගන්න අපි පොර කනවා.

මට පස්සෙ කාලේ අවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බොහෝ ම සුවඳ වස්ත්‍රයක් නෙමෙයි කියලා. ඒ වගේම අම්මගෙ සුවඳ කියලා අපි කියන්නෙ අම්මගෙ සොටු, දහදිය, උයලා පිහලා ඉඳුල් දැලි ගෑවුණ සුවඳට. අපි එතකොට ආදරෙයෙන් වැලඳගෙන තියෙන්නෙ අම්මගෙ වේදනාව. අම්මගේ චීත්තය එයින් අපිට අම්මගෙ සුවඳ දැනෙනවා.

මම උපන් දා ඉඳන් අම්මගේ ආදරය මට ලැබුණා. මම උපදින කොට අපේ අම්මට 48යි. මම පවුලේ 11 වැනියා. අවු. 6දී මම පාසල් ගිහින් ආවා ම මම මව්කිරි බිව්වා. මට තවම හොඳට මතකයි ගමේ ගෑනියෙක් කිව්වා “ඕකෙ කොහොඹ ගාපං කියලා” ඒ මම හැමතිස්සෙම අම්මගෙ තනය උරන නිසා. මම තනයෙ එල්ලිලා මව්කිරි බිව්වට අපේ අම්මගෙ තනයේ මට දෙන්න මව්කිරි තිබිලා නෑ.

ඒ නිසා අම්මා කරන්නෙ කහට කෝප්පයක් හදාගෙන තියන් කහට බිංදු ඇඟිල්ලට අරන් මගෙ කටේ තියන එක. ඒ මගේ බඩගිනි නිවන්න. කිරි නැති වෙන්න හේතුව අපේ පවුලෙ 10 දෙනෙක්. මම 11 වැනියා. මට අවු.12 වෙනකොට අම්මට 60ක් විතර. මට මතකයි ඉස්සර අම්ම ඉස්කෝලෙට එනකොට යාළුවො කියනවා Qමේ එන්නෙ උඹෙ අම්ම නෙවෙයි ආච්චි’ කියලා. නිකං හරි උර උර ඉන්න අම්ම තනය දුන්න එකෙන් මා අදහස් කරන්නේ අම්ම මට තිබුණු ආදරේ තරම.

අප්පච්චි ගොවියෙක් වුණත් අපි දරිද්‍රතාවේ පතුළට ම ගියා. මට තවමත් හොඳට දැනෙනවා මැටි මුට්ටියේ බත ඉදෙන සුවඳ. තියෙන අප්‍රමාණ කුසගින්න නිසා ලුණු ටිකක් ඉහලා ඉක්මනට බත් කනවා.

මිනිස්සු ලුණුයි බතුයි කන්නෙ හීල් බත් එක්ක නෙමෙයි. උණු බත් එක්ක. දැඩි ම කුසගින්න නිසා ලුණුයි බතුයි කෑවා. දුප්පත් මිනිස්සු ලුණුයි බතුයි කනවා කියන කතාව ඇත්ත.

අපේ පවුලෙ පිරිමි 05යි. ගැහැනු 05යි. දුප්පත්කම කොච්චර වුණත් අම්මා කතරගම දෙවියන්ට ගිහින් බාර වුණාලු ඊළඟ එකා පුතෙක් වෙන්න කියලා. දරුවො සමාන වෙන්න.

ඊළඟට මට තියෙන මතකය චූටි කුස්සියේ අපි දහදෙනා පෝළිමට වාඩි වෙනවා. කෑම කන්න. අපි කන්නෙ බෙලෙක් පිඟන්වල. එක එක්කෙනාගෙ පිඟන් එක එක තරමෙ. ලොකු අයියට ගොඩක් කන්න ඕනෙ. මොකද ඌ කුඹුරෙ යනවා.

මහන්සි වෙන නිසා. ඒගොල්ලන්ගෙ පිඟාන ගැඹුරුයි. අම්මා මුලින් ම බෙදන්නෙ අප්පච්චිට. ඊට පස්සෙ අපිට. පිඟන් අඩු වුණා ම අක්කලා කන්නෙ මඩක්කුවේ. (අඩි වළඳේ) හැමෝට ම බෙදලා අම්මා කවදාවත් බෙදාගන්නෙ නෑ. අපි 10 හරි 8 හරි ඉන්න අය කනතුරු අපේ අම්මා බත් බෙදාගන්නෙ නෑ.

අපි බත් ටික මුලින් ම වේගෙන් කාලා අන්තිමට ඇටේ ඇටේ කනවා. අපි දෙවෙනි පාර කන්න ආස වුණත් බෙදා ගන්නෙ නැත්තෙ අපෙ අම්ම කෑවෙ නැති නිසා. අම්මට කන්න තරම් බත් මුට්ටියේ තියෙනවද කියලා දන්නෙ නැති නිසා. එතකොට අම්මා දන්නවා අපි නොකා ඉන්නෙ අම්මට නැති නිසා කියලා. අන්න ඒ වෙලාවට බත් මුට්ටිය පෙන්නලා අම්මා ලස්සන වචනයක් කියනවා.

”මට තියෙනවා මයෙ පුතේ, උඹලා තව චුට්ටක් කාපං” කියලා.

දැන් අප්‍රමාණව අම්මට තියෙන ආදරය වැඩිවෙනවා. බඩගින්න ජීවිතය උගන්වනවා. අන්න එහෙම තමයි කුසගින්න එක්ක ආදරේ ගොඩනැඟෙන්නේ.

රෑට හිල්වෙච්ච ටකරං අස්සෙන් එළිය වැටෙනවා ‘ටෝච්’ එක ගැහුවා වාගේ ගොම පොළොවට. අපි අඟුරු කෑලි අරන් ඒවා රවුම් කරනවා. එතකොට ටික වෙලාවක් ගියා ම ගොම පොළොවෙ ලස්සන රටාවක් මැවෙනවා. අපිට බිම අඳින්න අඟුරු කෑල්ල දෙන්නෙ අම්මා. අම්මට අකුරක්වත් බෑ.

මෙහෙම යනකොට ශිෂ්‍යත්වේ පාස්වෙනවා මම. යහළබැද්ද කනිටු විදුහලින්. ඒ කාලයේ මගේ ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරු වුණේ කරුණාරත්න ගුරුතුමා සහ මල්ලිකා දාබරේ ගුරුතුමිය. ඈ දැන් වත්තල පැත්තේ ඉන්නවා.

මම හපුතලේ නගරයේ. ගම යහළබැද්ද. අම්මගේ නම පුංචි මැණිකා.

දරුවෙක්ට තියෙන ලොකු ම ආසාව තමයි තමාව අගය කිරීම. හැබැයි ජප්පත් අකුරු නූගත් දෙමව්පියෝ දරුවා රටේ නායකයා වුණත් ඇත්තද බොල? කියලා අහයි. ඉතින්, ශිෂ්‍යත්වෙ පාස් වුණාම අම්මා මාව අගය කළා.

ගෙවල් ගාව හිටියා මනි අම්මා කියලා ගෑනියෙක්. ඒ කාලේ එයා බිත්තර විකිණුවා. බිත්තරයක් සත හතළිහයි. ඒ කාලේ බිත්තර හරියට අධිනිශ්චය වෙලා තිබ්බේ. අපේ අම්මා එක බිත්තරයක් ගෙනල්ලා තම්බලා බත් එකේ හංගලා මට දීලා කියනවා

”පුතේ, ඕක අයිනට ගිහින් කාපං” කියලා. ශිෂ්‍යත්වෙ පාස්වීම නිසාත්, මම පවුලේ බඩපිස්සා නිසාත් ඒ බිත්තරේ මට ලැබුණා වෙන්න පුළුවන්. අම්මා අනිත් අයටත් බිත්තර අරන් දෙන්න පුළුවන් නම් අරන් දෙනවා. ඒත් දුප්පත්කම ඒ සියල්ල මඬිනවා. අනික මට පොඩි කාලේ මන්දපෝෂණය හැදුණා. මම පස්ස පැත්තෙන් ගියා කියලා තමයි කට්ටිය කිව්වෙ.

ගමේ කට්ටිය කිව්වෙ ඔළුව ලොකු කොල්ලා කියලා. ගමේ එවුන් එහෙම කිව්වෙ මට මන්දපෝෂණය හැදුණා ම ඔළුව ලොකුªවෙලා ඇඟ පුංචි වුණ නිසා. ඒ කාලේ මට ඇවිදින්න බැරි නිසා මාව කරත්තයක දාගෙන තල්ලු කරගෙන ගියේ ජයන්ත කුමාර බන්දුලාච්චි කියන මගේ යාළුවා. දැන් හලාවත නල්ලදරංකට්ටුවේ පදිංචි වෙලා ඉන්නේ. මට ඒ යාළුවා දවසක් මුණගැහුණ ම කියනවා,

”උපුල් ඔයාට පොඩි කාලේ මන්ද පෝෂණයනේ. මම තමයි ඔයාව කරත්තෙ තියාගෙන තල්ලු කරන් ගියේ” කියලා.

ඒ නිසා අම්මා බත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා.

උඩරට පළාත්වල සිරික් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන

”මයෙ අප්පා, කිරි කෝඩු කකුල්වලින් මහගිරිදඹේ නැංගද”

කිය කියා උණු කැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙ පාස් වුණා ම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා;

”පුතේ, උඹ විභාගයක් පාස් ලු. මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේ සම්පත් ලැබෙන්න ඕක.”

කිලා අම්මා සිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා.

ඒ දවස්වල ඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු.09දී විතර. 73 විතර. විශාල දුර්භික්ෂයක්. මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කියන පොතේ විශාල වශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනව දේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා.

මේ දුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සු ඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩ තම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02ක් 03ක් විතර බඩගින්නෙ හිටියා.

මේ කාලේ අපි අක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලා කෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනව. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙන තියෙනවා. මේ දවස්වල අපි වේල් 10,15 ඉරිඟු තම්බලා කෑවා.

එක දවසක් උදේක තුවායක් කරේ දාගෙන අම්මා උදේ 6ට 6.30ට විතර හපුතලේ කන්ද මුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑම හොයන්න.

අපි අඳුර වැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30ට 8ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළට බහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න. අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේ පහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියා ම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියට ළඟයි කියලා. ඒක මුළු ගමට ම සංඥාවක්.

ඊට පස්සෙ රෑ 12.00ට විතර අම්මා ආවා ගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින් ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටි ගුලියක්.

ඒ ගෙදර රොටි හදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙ පොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්න දීලා අපිව නිදි කෙරෙව්වා.

ඒ තරමට මහා දුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ.

ඊට පස්සෙ මට අම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගිය කාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා, කෙල්ලො බලන්න ගිහිල්ලා, චිත්‍රපටි බලලා ඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියට මම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා.

තරුණ වයසනේ. ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳට ම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේ රීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවා කන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලට බහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බ තේ පාත්ති කිහිපයේ) මම එළියට බහිනකොට ම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා;

”මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා” කියලා.

අම්මා මේක කියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි.

දැන් අර සුගතපාල ද සිල්වා ගේ ‘මරාසාද්’ නාට්‍යයේ කියනවා වාගේ තමන්ගෙ ම කෙස් වල්ලෙන් තමන්ව ම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මම මොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙ ම ගියා චිත්‍රපටිය බලන්න.

දැන් මට මගේ බඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි? අම්මට නොතියා මුළු රොටියම මම කෑවට.

මිනිස්සු ස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණය කොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මට පෙනෙන්නෙ.

පහෙන් පස්සෙ මම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලා යනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ.

පිංපියොත් එක්ක, ගණිකාවෝ එක්ක, කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ, සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපු එකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ. ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා.

කෝච්චි පෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ. තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේ ම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි.

ඒ කාලේ (කොළඹ ඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේ ඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.

පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.

මම විශ්වවිද්‍යාලෙට ගිහින් ලියනවා මගේ මුල් ම පොත ‘සරසවි දියණියෝ’. ඒක එළිදක්වන දවසෙ අම්මවයි, තාත්තවයි දෙන්නව ම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේ මුල් ම පොතේ ‘පිදුම’ ලියන්නෙ අම්මටයි. අප්පච්චිටයි.

”දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්”

(සරසවි දියණියෝ පිදුම)

රංග කලංසූරිය තමයි මගෙ අම්මවයි අප්පච්චිවයි වේදිකාවට අරන් එන්නෙ. ඒ කාලේ රංග ආනන්දේ A/L ලියනවා.

අප්පච්චි ගැන මුල් කාලයේ මට තිබ්බෙ ද්වේෂයක්. අම්මා දුක් විඳින ස්වරූපය පෙනෙන්න පෙනෙන්න දරුවෙකුගෙ හිතේ තාත්තට තියෙන ආදරය නැතිවෙනවා. වෛරයක් ඇතිවෙනවා. මට මගේ ජීවිතේ අපේ අප්පච්චි අවස්ථා දෙක තුනකදී හැර පැන්සලක් පෑනක් අරන් දුන්න කෙනෙක් නෙවෙයි. අම්මාගේ දුක් විඳින ස්වරූපය වැඩිවෙන්න වැඩිවෙන්න තාත්තා ගැන තියෙන වෛරය වැඩිවෙනවා. ඒක සාමාන්‍යයි.

මගේ අප්පච්චිට ඇස් දෙක පේන්නෙ නෑ කිව්වම මම එයාව නයනාරෝග්‍ය ශාලාවට ගේනවා කොළඹ. මම හැමදා ම යුනිෆෝම් එක ගහගෙන යනවා අප්පච්චි බලන්න. අප්පච්චිට වෙන ම ඇඳක් තිබුණෙ නෑ. ඇස්වාට්ටුවේ වැසිකිළිය ගාව පැදුරක් දාගෙන අප්පච්චි නිදි. මම යුනිෆෝම් ඇඳලා යන නිසා ඩොක්ටර් එක දවසක් මට කතා කරලා කියනවා;

පුතා, ඔයාගෙ තාත්තගෙ ඇස්වල ස්නායු මැරිලා තියෙන්නෙ. ලෝකෙ කොහේ රටක ගියත් මේක හොඳ කරන්න බෑ. මෙතනින් එහාට අප්පච්චිව හොඳින් බලාගන්න.”

ඊට පස්සෙ ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්නා තාක් කල් මම ඒ දෙන්නව කොළඹ ගෙනල්ලා තියෙනවා මගේ හැම පොතක් ම එළිදක්වද්දි.

අප්පච්චි බුද්ධි ගෝචර චරිතයක්. අම්මා භාව ගෝචර චරිතයක්.

ඊට පස්සෙ කාලෙදි, අවුරුදු පහක විතර කාලයක් මට අම්මව මගහැරෙනවා. ඒ නගරෙ ඇතුළෙ මම තනිවෙච්ච කාලයේ. ඕන ම කෙනෙකුට අම්මව මඟහැරෙන කාලයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඇත්තට ම මේ මගහැරීම එන්නෙ කාර්ය බහුල ජීවිතෙත් එක්ක. ගෙවල් හදන්න පටන් අරන්, ආර්ථිකය ගොඩනඟාගන්න කාලයේ දී මට අම්මව මග හැරෙනවා. හැබැයි ඒක අමතක වීම නෙමෙයි. මග හැරීමක්. ‘ලතා මංගේශ්කාර්’ කියනවනේ ‘කසාද බඳින්න අමතක වුණා’ කියලා. ඒ නිසා අතිශය කාර්ය බහුලත්වය කාලකණ්ණි මගහැරීමක් කරනවා.

මේ කාලය ගැන මම කාරණා 2ක් මතක් කරන්න කැමැතියි.

1. මේ කාලයේ මත්තෙගොඩ ගෙදර හදන කොට අම්මටයි, අප්පච්චිටයි වෙන වෙන ම කාමර 2ක් හදනවා. මං ගාව ගෙනැල්ලා තියාගන්න. තවමත් මගේ ගෙදර ඒ කාමර දෙක තියෙනවා.

2. අම්මාට තරම් ම මම අදත් ගරු කරනවා බිබිලේ ඉන්න මගෙ ප්‍රේමා අක්කාට. එයා විවාහ වෙලා ඉන්නෙ ඇන්ටන් කෲස් මරියදාස කියන ද්‍රවිඩ වෛද්‍යවරයෙක් එක්ක. අක්කට මම ණයගැති වෙන්න හේතුව මගේ ඇල්ම බැල්ම තියෙන කාලයේ නෙමෙයි මට අම්මව මගහැරුණු කාලයේ අම්මව හොඳින් බලාගත්ත එක ගැන.

ඒ මඟහැරුණු කාලයේ ඒ කිව්වෙ අක්කා ගාව අම්මා හිටිය කාලේ හිටපු ගමන් අම්මා කඳුළක් හලල කියනවලු

”මට පොඩි එකා බලන්න යන්න ඕන” කියල.

අම්මා ගැන කියනකොට මට මතක් වෙන අනෙක් ලස්සන ම සිද්ධිය තමයි පොඩි කාලේ අපේ අම්මා අක්කලාටයි අයියලාටයි උගන්වන්න අම්මගෙ සාරි විකුණලා තියෙනවා. කුලී වැඩ කරලා තියෙනවා. කරාබු, මාල විකුණලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා මම උපදිද්දී අම්මා කණකර ආයිත්තම් කිසිවක් නැති ගැහැනියක්. ඒ නිසා අම්මා හරි ආසාවෙන් හිටියා ‘අගස්ති මාලයක්’ පළඳින්න.

අම්මා කියනවා ‘පොඩි එකා කවදහරි ඉගෙනගෙන මට අගස්ති මාලයක් ගෙනැල්ලා දෙයි’ කියලා.

අගස්ති මාලය තමයි අම්මාගේ හිතේ අධිනිශ්චය වෙලා තිබුණේ. ඒ තුළ තිබුණේ අගස්ති මාලයක් ලබාගැනීම ම නෙමෙයි. ඌ හොඳට ඉගෙන ගනියි කියලා. අගස්ති මාලය තුළ මේ පැනනඟින්නේ අම්මා තුළ මා ගැන තිබූ විශ්වාසය. අනික අම්මා බලාපොරොත්තුවෙන් හිටියා කවදාහරි දඹදිව යන්න.

බිබිලේ අක්කා බැන්දේ කතෝලිකයෙක්. ඒ නිසා එයා නත්තලට වෑන් එකේ කොළඹ එනවා පල්ලියට. මේ ගමන් අම්මයි අක්කයි අයියයි අපේ ගෙදර එන නිසා මමත් ලෑස්ති වුණා අම්මට සැපදෙන්න. කට්ටිය දැන් කෙසෙල් කැන් අරගෙන මුං ඇට කැවුම් අරගෙන ආස්මී, කැවුම් අරගෙන එන්න ලෑස්තිය.

බිබිලේ අය මෙහේ එද්දි බිබිලේ ගේ බලාගන්න කවුරුත් නැති නිසා හපුතලේ කට්ටිය බිබිලෙ ගෙදරට එනවා ගේ බලාගන්න කියලා. වෑන් එකේ මෝටරේ බුෂ් ගිහින් කියලා අක්කයි අයියයි ගරාජයට ගිහින් තියෙනවා වාහනෙත් අරන් බුෂ් එක හදන් එන්න කියලා.

මේ නිසා හිටපු අනිත් අය අම්මට විහිළු කළා

”හූ, හූ, අපි කිව්වනේ අම්මව එක්කන් යන්නෙ නෑ කියලා. ඒ දෙන්නා තනියම ගියා.”

අම්මා හෙමිහිට නැගිටලා අතගගා ගිහිල්ලා බැලුවා. පහල වාහනේ නෑ. එකපාරටම අම්මගෙ මොළයේ නහරයක් පිපිරුවා.

එදා මම මහනුවර පන්ති. කැප්පෙටිපොළ ශාලාවේ. මම පන්ති ඉවර වෙලා පේරාදෙණියෙ මල්වත්ත පහුකරනවත් එක්ක ම මට දුරකතන ඇමතුමක් ලැබෙනවා. අම්මට අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියලා. අසනීප වුණා කියපු ගමන් ම අවිඥානිකව මගේ හිතේ ඇතිවෙනවා අම්මා මැරුණා කියලා. මම ඒ වෙලාවෙම වාහනේ හරවගෙන බිබිලෙ යනවා. දහඅට වංගු පැනලා බිබිලෙට යද්දී එදා මධ්‍යම රාත්‍රිය විතර වෙනවා.

මම ගෙදර ගියා ම මම කිව්වා මට අම්මව බලන්න ඕන කියලා. කට්ටිය කිව්වා බෑ දැන් යන්න වෙන්නෙ නෑ හෙට උදේ තමයි ආයෙ ලෙඩ්ඩු බලන්න පුළුවන් කියලා. මම කොහොම හරි අම්මව බලනවයි කියලා හිතාගෙන තව දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඉස්පිරිතාලෙ තාප්පෙන් පැනලා ගියා වාට්ටුවට අම්මව බලන්න. ඒ වෙද්දි අම්මා හුස්ම ගන්නවා පේන්නේ නෑ. ඇස් වැහිලා. ඇඟ හොඳටෝම සීතල වෙලා. බෙහෙත් පොවන්නත් බෑ. හැබැයි හෘද ස්පන්දනය වැඩ කරනවා. අම්මා මැරුණේ නැති මළ මිනියක් වෙලා.

අනික් අය වටවෙලා ‘අම්මා’ ‘අම්මා’ කියලා කෑ ගහනවා. ඒත් අම්මා ඇස් ඇරලා බැලුවෙ නෑ. මම හෙමිහිට අම්මා ළඟට ගිහිල්ලා ‘අම්මා, අම්මා’ කියලා දෙපාරයි කතාකෙරුවෙ. අම්මගේ හෘද ස්පන්දනය එක පාර ම වැඩිවුණා. අම්මා හෙමින් සැරේ ඇස් ඇරලා යන්තම් අත උස්සලා මගේ අත අල්ල ගත්ත. මෘත දේහවලටත් දරුපෙම නිසා පණ එනව‘යි කියන කතාවත් ඇත්ත.

1997.12.26 දා ඒ කියන්නෙ ඊට පස්සෙ දවසෙ අම්මා මැරෙනවා. ඒ වෙද්දි අම්මට වයස අවුරුදු 81යි. අම්මට උප්පැන්නයක් නැති නිසා මං ඉපැදුණු වසරෙදි අම්මට 48යි කියන මතකයෙන් තමයි වයස හැදුවෙ.

අම්මව වළේ දානකං මම ගියේ නෑ අම්මගේ මෘත දේහය බලන්න. කොටින්ම කිව්වොත් මම අම්මගේ මෘත දේහය බලන්න ආසවුණේ නෑ. අම්මා පවුලේ වැඩිපුර ම ආදරේ මට කියන එක මම තහවුරු කරගත්තා අම්මා මැරෙන්න මොහොතකට පෙර හරි. මම කැමැති වුණේ නෑ අඬලා දුක්වෙලා ඒ මතකය නැතිකර ගන්න. ඒ නිසා මම අම්මගේ මෘත දේහය බැලුවෙ නෑ.

අම්මාට තාත්තාට ණය ගෙවන ක්‍රම තියෙනවා.

1. මානසික ලෙස

2. භෞතික ලෙස

මම මානසික ණය ගෙව්වා. ශිෂ්‍යත්වය පාස් වුණා. පොත් ලිව්වා. ‘සන්නස්ගල’ කියලා පත්තරේක තිබ්බත් ඒ මගේ පුතා කියලා සතුටු වෙන්න, ආඩම්බර වෙන්න පුළුවන්කම ඇති කළා. නමුත්, මට භෞතික ණය ගෙවන්න බැරිවුණා.

අම්මට අගස්ති මාලයක් අරන් දෙන්න මට බැරිවුණා. අම්මට අඳින්න සාරි ගෙනැත් දෙන්න අම්මව දඹදිව එක්ක යන්න මට බැරිවුණා. ඊට පස්සෙ කාලෙක මම ඉන්දියාවෙ ගියාම අගස්ති මාල 50ක් බෙදුවා. සාරි බෙදුවා. 2007 ජනානන්ද පිංකමේ දී ගමේ ගෑනුන්ට සාරි දුන්නා.

දෙමාපියො මැරුණම දරුවො පශ්චාත්තාප වෙන්නෙ අර මගහැරුණු කාලෙ ගැන විතරයි. අපි කිසිවිටෙක හිතන්නෙ නෑ අම්ම තාත්තා දැන් මැරෙයි කියලා. මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න එපා ඒ මොහොතෙදි අම්මා තාත්තා මැරේවි.

එතකොට තමයි හිතෙන්නෙ ‘ෂඞ මට මොකුත් කරන්න බැරිවුණානේ’ කියලා ඒ නිසා මගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න, මඟහරින්න එපා කියලයි කියන්න තියෙන්නෙ.

ආදරය, සෙනෙහස වගේ දේවල් කිසිවිටෙක මඟහරින්න එපා. ආදරය මඟහැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා. මගේ පපුව තවමත් කැක්කුම තියෙන්නේ අම්මව මට මඟහැරුණ නිසා. ඒක මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්න බෑ

Tuesday, October 15, 2013

අප්පච්චී මිල්ලන් ගොඩ රාජාට පැරදිණි....


-

ඔය හෙන්ඩුව අහක් කොරාං බොල හෙන්ඩු වලින් අලි බය කොරන්න පුළුවං. හීලෑ කොරගන්ට බෑ,සතා සිව්පාවට කරුනාව මෛත්‍රිය දක්වපං

රාජා නතුකරගන්නට හෙන්ඩුව මාතට ගත් සෑම විටකම වාගේ අප්පච්චිගේ මුවින් පිටවූයේ එවදන්ය,

ගං තුලානේ කොයි අහු මුල්ලක හෝ පොල් ගසක් ,කිතුලක්,කැපූ බැව් දැනගත් වහාම අප්පච්චී ක්ශනයකින් එහි යයි,යොදුන් ගනන් දුර ,අතු ,බඩ ඔසවා එයි,පසුව ඔහු විඩා නිවන්නේ රාජා තලු මරමින් එය බුදිද්දී ය,

පොල් අතු හැමදාම නැත,එහෙව් දවසට මහන්සිය .කාන්සිය,රැය දවාල නොබලාම මූකලානේ කරක් ගසයි,නානාවිධ අතු ඉති කඩා එයි,අප්පච්චිගේ පය ගෙවෙන්නේ විල්ලුද නොමැති මහ පාරටත්,අතු ඉති සොයා මූකලානටත්,ගම් තුලානටත් ය,

අත්ල වේළුනු පොල් ගෙඩියක් වාගේ ගොරහැඩිය,රළුය.

බොලෑ අප්පච්චිය ඔය හස්ති රාජයා හින්දා කිරි එරෙන්නැති එක පුදුමයි,ගම්මු නිතරම එසේ කියයි,

ගම්මුන් එසේ කීවත් ගම්මුන් රාජාට තිබෙන්නේ අසීමිත ගෞරවයකි,සෙනෙහසකි,භක්තියකි...දළඳා වඩම්මන හස්ති රාජයා අපේ ගමේය කියන්නේ උන් දැඩි භක්තියෙනි,

පෙරහැර කාලවලට අප්පච්චීටත්,රාජාටත් අසීමිත වැඩ රාජකාරී ය,හස්තිරාජයාගේ ඇඳුම් පිළිවෙලය,පිරිසිඳුය,නමුදු අප්පච්චී ඔහු කෙරෙහි එතරම්ම උනන්දුවක් නැත,

අප්පච්චී රාජාගේ පිට නැඟී ගමන් ගියානම් කලකට ඉහතය,මා දන්නා තරමින් මෑත ඉතිහාසයේ එවන් දිනයක් නොතිබිනි,මා කිහිප විටක්ම රාජාගේ පිට මතින් යෑමට අවසර ඉල්ලූ නමුදු සෑම විටම අප්පච්චි කීවේ,මේ දළඳා වඩම්මන පිටේ උඹලට යන්න...උඹලට අමු කැවිලද? කියා ය.

හෙන්ඩුව නාම පදයක්ම වී ගෙයි මුල්ලේ විය,එය රාජාගේ සිරුර කිසිදා ස්පර්ශ කර නැත,

උන්නත් දාහයි මළත් දාහයි කියන්නේ අලින්ට නේද මාමේ'යි කොලු ගැටයෙකු ඔච්චමට විමසූ විට අප්පච්චී අසීමිතව කේන්ති ගනියි,"බොලෑ අම්මණිඩිට තමයි එහෙම කියන්නේ'යි අප්පච්චි කියන්නේ පුපුරමිනි,

මූ ගිය ආත්මෙක මගේම දරුවෙක්..මං මේකා බලාගන්නේ රාජකාරියටම නෙමෙයි බොලව්,අපිට හරි හමං දකින්නවත් පින් නැති දළඳා වහංසේ මූ පිට උඩ තියං වඩම්මන්න තරං පිං කොරලා තියනවා,සතා උනත් පිං නැත්නම් මෙහෙම පිනකට දායක වෙන්ට පුලුවනෑ..

අප්පච්චී දින පතා රාජා ඔයට ගෙන ගොස් නහවනු ලබයි,මේ සියල්ල ඔහු ඉටු කරන්නේ දැඩි භක්තියෙනි,සෙනෙහසිනි..,

අලි මන්තර ,හෙන්ඩු,අලි භාශා ඔහු රාජා වෙනුවෙන් භාවිතා කරන්නේ නැත,පාරම්පරික ඇත් ගොව්වෙකු වන අප්පච්චී අලි මන්තර හොඳින් දන්නා මුත් රාජා කෙරෙහි එම සිද්ධාන්ත වලංගු කොට ගන්නේ නැත,වරෙන් පුතා...කාපං පුතා..නැඟිටපන් පුතා...ආදී වූ බස් පමණක්ම අප්පච්චී රාජා හා කටයුතු කිරීමේදී භාවිතා කරයි.

රාජා සද්ධන්ත කුලයේ මංගල හස්තියෙකි,සත්පොලක් බිම ගෑවෙයි,හිස මනා ලෙස කුළු දෙකකට බෙදී තිබේ..එක් විසි වියැති සවිමත් මේ ගිරි ශිකරය කුඩා දරුවෙකු මෙන් අප්පච්චීට නතුය,අවනතය,

දළදා පෙරහැර අවසන් ය,විඩා බර කාලයක අවසන රාජා වෙනදාට වඩා අසහනකාරී තත්වයකින් සිටි බවක් දැණින,නමුදු වැඩි කලබලයක් නැත,මුත් වෙනදාට හැල්මේ සිටින රාජා අද නිතරම පා එහෙ මෙහේ සොලවයි,වාඩි වෙයි,හිටගනියි, මේ වෙනස අප්පච්චීත් දුටු සෙයකි..

අද නුවර ලොකු දොස්තර මහත්තැන්ට එන්ට කියලා පයින්ඩයක් යවපන් කොල්ලෝ...මේකාට අසනීප පාටයි...මේ කිපෙන කාලෙකුත් නොවෙයි නොවැ.

මා පයින්ම හන්දියට ගියේ නුවර පශුවෛද්‍ය වරයාට පණිවිඩයක් යැවීම පිණිසය,නැවත නිවසට පැමිනෙන්නට ගතවූ කාලය පැයක් වන්නට පුළුවන..දුරදීම නිවස වටා මහා පවුරක් බැන්දා සේ ගැමියන් එකතුව සිටිහ,ගම් තුලානේ ලොකු පොඩි සෑම දෙනාම දැඩි කම්පාවකින් සිටි බවක් දුරදීම දිටිමි..

මා අඩි වේගවත් කලෙමි..සිහියත් අව සිහියත් අතර මා කඩුල්ල පැන වත්තේ අලි ගාල දෙසට දිවීමි...අහල ගම් වල හුරු නුහුරු සෑම මුහුනක්ම එහි විය..

රාජා මහා ගිරි කුලක්ව නැඟී සිටී..රාජාට කරදරයක් අතුරු අන්තරාවක් නැත..මා තවත් ඉදිරියට ගියෙමි...රාජාගේ දෙපා යට පොඩි වෙමින් ,තැලෙමින් අප්පච්චීගේ ප්‍රාණය නිරුද්ධ සිරුරය..

රාජා අප්පච්චි පාගා මරා දමා තිබේ,කිසිවෙකුට අහලකටවත් යා නොහැකි ලෙස රාජා රුදුරු වී තිබේ..මා දණ ගසා ගතිමි...

උඹ අනන්තරීය පාපකර්මයක් කරගත්තේ...මම මහ හඬින් කෑ ගැසීමි..

බණ්ඩාරෙ අයියා අලියා පාගද්දී හෙල්ලුනේවත් නැහැ පුතේ,ඉවසං හිටියා..

ගැමියෙකු එසේ කියද්දී මා සලිත උනෙමි,කම්පා උනෙමි,සිහි මුර්ජා උනෙමි,නැවත සිහිය ලදිමි..

මට අප්පච්චී නිතරම කියූ වදනක් සිහි විය...

"මූ පෑගුවත් මං නෙමෙයි බොල දඟලන්නේ...මේං බලාපං මේ දළදා වඩම්මන පය..මයේ සරීරෙ තියන කටු එහෙම මේ දළදා වඩම්මන පයේ ඇනුනොත් මට සහ ගහනවා ......"

මා කිසිවක් නොසිතන්නට තීරණය කලෙමි....


|චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න.

Monday, October 14, 2013

සොඳුරිය

නොයිඳුල් කුඹුරු උව
සුලඟට කියා පීරන කෙහෙ,
මා හිස අයා සිටියාම කිම
සුළඟ එන දිසාවටම....

පරාගනයට මිසක
සුළඟ කුමකට මලට,
විහිදුවන සුවඳ උව
ඹබරුන් කැඳවන්න නම්...
දෙවියන්ද කැමති වැඩිපුර
මා ලව්වාම
වසන්තය මවන්නටය නුඔට....!!
සොඳුරිය,

මල් පිපෙන්නේත්
සුළඟ හමන්නේත් මටය,
නුඔට නොව ඒවා
දෙවියන්ද කැමති වැඩිපුර
මා ලව්වාම
වසන්තය මවන්නටය නුඔට...!!

ඉඳහිටක තෙමුනාම
පිණි බින්දුවකට උනත්,
අනෝරාවක් මවා
විකසිත කල හැකි කවුරුවෙද ?
දෙවියන්ද වැඩිපුර කැමති
මා ලව්වාම
වසන්තය මවන්නටය නුඔට....!!

වදකාගාරයේ ගබ්සාව.


සිම්බේ එ කුස රජයේ සපත්තුව
විප්ලව නොකල මුත් හිමි කොට ගත් නිසාය ඔහු
කුස දැරූ හින්දාය දරු ඔහු,
ගබ් දියව කලවා දිගට
හතර රියනක් නොපතාම
සිප ගත්තේ මහ පොළව,
අයිතිය පතා යම් දිනක එ බිම-යලි උපදින්නනම්,
වදකාගාරය ප්‍රසූතාගාරය වූවාව කම් නැත
නුඹ විප්ලව කරනවානම්, ගලා යන්නටම ඉඩ දෙමි,
පොලෝ ගැබ ඔබ මොබ, රිසි ලෙසක,
සිඳී යන්නටම ඉඩ දෙමි, ඒ පොලෝ ගැබ තුල
දියසෙන් නොවුනාට කම් නැත
රත් පැහැ සළු පිළි අතර,අසිපතක් වේ නම්
උපදිනු දෙබෑකර මේ රළු පොළව...!!