Tuesday, October 15, 2013

අප්පච්චී මිල්ලන් ගොඩ රාජාට පැරදිණි....


-

ඔය හෙන්ඩුව අහක් කොරාං බොල හෙන්ඩු වලින් අලි බය කොරන්න පුළුවං. හීලෑ කොරගන්ට බෑ,සතා සිව්පාවට කරුනාව මෛත්‍රිය දක්වපං

රාජා නතුකරගන්නට හෙන්ඩුව මාතට ගත් සෑම විටකම වාගේ අප්පච්චිගේ මුවින් පිටවූයේ එවදන්ය,

ගං තුලානේ කොයි අහු මුල්ලක හෝ පොල් ගසක් ,කිතුලක්,කැපූ බැව් දැනගත් වහාම අප්පච්චී ක්ශනයකින් එහි යයි,යොදුන් ගනන් දුර ,අතු ,බඩ ඔසවා එයි,පසුව ඔහු විඩා නිවන්නේ රාජා තලු මරමින් එය බුදිද්දී ය,

පොල් අතු හැමදාම නැත,එහෙව් දවසට මහන්සිය .කාන්සිය,රැය දවාල නොබලාම මූකලානේ කරක් ගසයි,නානාවිධ අතු ඉති කඩා එයි,අප්පච්චිගේ පය ගෙවෙන්නේ විල්ලුද නොමැති මහ පාරටත්,අතු ඉති සොයා මූකලානටත්,ගම් තුලානටත් ය,

අත්ල වේළුනු පොල් ගෙඩියක් වාගේ ගොරහැඩිය,රළුය.

බොලෑ අප්පච්චිය ඔය හස්ති රාජයා හින්දා කිරි එරෙන්නැති එක පුදුමයි,ගම්මු නිතරම එසේ කියයි,

ගම්මුන් එසේ කීවත් ගම්මුන් රාජාට තිබෙන්නේ අසීමිත ගෞරවයකි,සෙනෙහසකි,භක්තියකි...දළඳා වඩම්මන හස්ති රාජයා අපේ ගමේය කියන්නේ උන් දැඩි භක්තියෙනි,

පෙරහැර කාලවලට අප්පච්චීටත්,රාජාටත් අසීමිත වැඩ රාජකාරී ය,හස්තිරාජයාගේ ඇඳුම් පිළිවෙලය,පිරිසිඳුය,නමුදු අප්පච්චී ඔහු කෙරෙහි එතරම්ම උනන්දුවක් නැත,

අප්පච්චී රාජාගේ පිට නැඟී ගමන් ගියානම් කලකට ඉහතය,මා දන්නා තරමින් මෑත ඉතිහාසයේ එවන් දිනයක් නොතිබිනි,මා කිහිප විටක්ම රාජාගේ පිට මතින් යෑමට අවසර ඉල්ලූ නමුදු සෑම විටම අප්පච්චි කීවේ,මේ දළඳා වඩම්මන පිටේ උඹලට යන්න...උඹලට අමු කැවිලද? කියා ය.

හෙන්ඩුව නාම පදයක්ම වී ගෙයි මුල්ලේ විය,එය රාජාගේ සිරුර කිසිදා ස්පර්ශ කර නැත,

උන්නත් දාහයි මළත් දාහයි කියන්නේ අලින්ට නේද මාමේ'යි කොලු ගැටයෙකු ඔච්චමට විමසූ විට අප්පච්චී අසීමිතව කේන්ති ගනියි,"බොලෑ අම්මණිඩිට තමයි එහෙම කියන්නේ'යි අප්පච්චි කියන්නේ පුපුරමිනි,

මූ ගිය ආත්මෙක මගේම දරුවෙක්..මං මේකා බලාගන්නේ රාජකාරියටම නෙමෙයි බොලව්,අපිට හරි හමං දකින්නවත් පින් නැති දළඳා වහංසේ මූ පිට උඩ තියං වඩම්මන්න තරං පිං කොරලා තියනවා,සතා උනත් පිං නැත්නම් මෙහෙම පිනකට දායක වෙන්ට පුලුවනෑ..

අප්පච්චී දින පතා රාජා ඔයට ගෙන ගොස් නහවනු ලබයි,මේ සියල්ල ඔහු ඉටු කරන්නේ දැඩි භක්තියෙනි,සෙනෙහසිනි..,

අලි මන්තර ,හෙන්ඩු,අලි භාශා ඔහු රාජා වෙනුවෙන් භාවිතා කරන්නේ නැත,පාරම්පරික ඇත් ගොව්වෙකු වන අප්පච්චී අලි මන්තර හොඳින් දන්නා මුත් රාජා කෙරෙහි එම සිද්ධාන්ත වලංගු කොට ගන්නේ නැත,වරෙන් පුතා...කාපං පුතා..නැඟිටපන් පුතා...ආදී වූ බස් පමණක්ම අප්පච්චී රාජා හා කටයුතු කිරීමේදී භාවිතා කරයි.

රාජා සද්ධන්ත කුලයේ මංගල හස්තියෙකි,සත්පොලක් බිම ගෑවෙයි,හිස මනා ලෙස කුළු දෙකකට බෙදී තිබේ..එක් විසි වියැති සවිමත් මේ ගිරි ශිකරය කුඩා දරුවෙකු මෙන් අප්පච්චීට නතුය,අවනතය,

දළදා පෙරහැර අවසන් ය,විඩා බර කාලයක අවසන රාජා වෙනදාට වඩා අසහනකාරී තත්වයකින් සිටි බවක් දැණින,නමුදු වැඩි කලබලයක් නැත,මුත් වෙනදාට හැල්මේ සිටින රාජා අද නිතරම පා එහෙ මෙහේ සොලවයි,වාඩි වෙයි,හිටගනියි, මේ වෙනස අප්පච්චීත් දුටු සෙයකි..

අද නුවර ලොකු දොස්තර මහත්තැන්ට එන්ට කියලා පයින්ඩයක් යවපන් කොල්ලෝ...මේකාට අසනීප පාටයි...මේ කිපෙන කාලෙකුත් නොවෙයි නොවැ.

මා පයින්ම හන්දියට ගියේ නුවර පශුවෛද්‍ය වරයාට පණිවිඩයක් යැවීම පිණිසය,නැවත නිවසට පැමිනෙන්නට ගතවූ කාලය පැයක් වන්නට පුළුවන..දුරදීම නිවස වටා මහා පවුරක් බැන්දා සේ ගැමියන් එකතුව සිටිහ,ගම් තුලානේ ලොකු පොඩි සෑම දෙනාම දැඩි කම්පාවකින් සිටි බවක් දුරදීම දිටිමි..

මා අඩි වේගවත් කලෙමි..සිහියත් අව සිහියත් අතර මා කඩුල්ල පැන වත්තේ අලි ගාල දෙසට දිවීමි...අහල ගම් වල හුරු නුහුරු සෑම මුහුනක්ම එහි විය..

රාජා මහා ගිරි කුලක්ව නැඟී සිටී..රාජාට කරදරයක් අතුරු අන්තරාවක් නැත..මා තවත් ඉදිරියට ගියෙමි...රාජාගේ දෙපා යට පොඩි වෙමින් ,තැලෙමින් අප්පච්චීගේ ප්‍රාණය නිරුද්ධ සිරුරය..

රාජා අප්පච්චි පාගා මරා දමා තිබේ,කිසිවෙකුට අහලකටවත් යා නොහැකි ලෙස රාජා රුදුරු වී තිබේ..මා දණ ගසා ගතිමි...

උඹ අනන්තරීය පාපකර්මයක් කරගත්තේ...මම මහ හඬින් කෑ ගැසීමි..

බණ්ඩාරෙ අයියා අලියා පාගද්දී හෙල්ලුනේවත් නැහැ පුතේ,ඉවසං හිටියා..

ගැමියෙකු එසේ කියද්දී මා සලිත උනෙමි,කම්පා උනෙමි,සිහි මුර්ජා උනෙමි,නැවත සිහිය ලදිමි..

මට අප්පච්චී නිතරම කියූ වදනක් සිහි විය...

"මූ පෑගුවත් මං නෙමෙයි බොල දඟලන්නේ...මේං බලාපං මේ දළදා වඩම්මන පය..මයේ සරීරෙ තියන කටු එහෙම මේ දළදා වඩම්මන පයේ ඇනුනොත් මට සහ ගහනවා ......"

මා කිසිවක් නොසිතන්නට තීරණය කලෙමි....


|චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න.

No comments:

Post a Comment

අදහසක් දැක්වීමට යොදවන්නේ ඔබේ කාලයයි,ඔබ ලියනා දේ හා එහි වටිනාකම ගැන පළමුව සිතන්න,...,