Wednesday, April 8, 2015

මාමා වැටුණු ගල

බෝර ගුලට වෙඩි බැන්දත් කිටි කිටියේ
නූල අමුන පය වාරුව ගෙන කඹයේ
පහල බහින විට මහ ගල මැද හරියේ
සක්ක අතක් මැව්වා ගල හිටි හැටියේ

ලෝබ නැතුව ගල පහතට කිඳී යා
හීන වැලට කලු ගල් කැට කැඩී යා
දෝස නැතා තුන් වේලම කැවී යා
දෝත නඟා ගල් පොත්තට වැඳී යා

කැඩෙන විටක කළු ගල කුළු පහර වැදී
කෙඳිරි නැතේ හිත හයියට තියා සැදී
ගෙදර එවුන්ගේ කඳුලැලි අතර සැදී
ගලට හිතක් ඇත! එනිසා එහෙම හිදී

සක්ක,තුන් කාල් ගෙන යන සේවෙක
වගක් අසන්නේ නැත ගල කිසි කාලෙක
පාරට ,අලුත් ඉස්කෝලෙටද දායක
කළු ගලය කලෙක හිටි දෙවි අයියනායක ..

මමා වැටුනු තැන හෑරී පොලෝ යට
තෙත් කළු ගලක් විනි එ් කඳුලු බෝ විට
කුරුවිට කන්ද මහ කළු ගලැති යාය ට
අදටත් ඉර හඳේ රැස් වැටෙන්නේ බාගෙට


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

2 comments:

  1. ඉතා සංවේදී අවස්ථා දැක්වෙන කවි සියල්ල කියෙව්වෙමි. වින්දෙමි. සංවේදී අවස්ථාවන් සංයමයෙන් ලිව්වාම මොනතරම් වටිනවාදැයි ඔබ මට තෝරා දෙයි.

    ReplyDelete
  2. අැත්තට ම හරිම ලස්සනයි චමින්ද............... පද ගැලපීම සහ අවස්ථා විග්‍රහ කිරීම අගෙයි.

    ReplyDelete

අදහසක් දැක්වීමට යොදවන්නේ ඔබේ කාලයයි,ඔබ ලියනා දේ හා එහි වටිනාකම ගැන පළමුව සිතන්න,...,