Wednesday, April 8, 2015

අරප්පලකන්ද වතුයායේ තංගා නම් ලා බාල කිරි කපන්නිය..

එකම කැපුමක්වත් නොවන
නැත එකදු කිරි ගසක්වත්
අරප්පල කන්ද වතුයායෙ
පහත බෑවුම් වලත් හිටගත්...

පොත්තෙන් පොත්ත දන් දෙත්
කිරි පිහියකට ඇඟ මස්
සතුටින් වෙසෙන සම සෙස්
බලපන් ඉහල කිරි ගස්..

තංගා අතන කොවිල
එතනින් පහත පන්සල
බෝ ගහ ලඟම නැවතුම
වැන්දේ රබර් ගහකට...

ගසෙන් ගස මුල කරක් ගැසුවත්
නැතේ ලැයිමට එයින් එළියක්
ඇගේ කඳුලට කටස් ගාලා
අදත් පුපුරයි රබර් ඇටයක්

පිපිර විසිරුණු රබර් ඇටයක්
වගක් නැතුවම කැපුම් කිසිවක්
හොරෙන් ලියලයි තවත් දල්ලක්
ඉරෙන් ලැබුනා ඊට පොහොරක්

ඇදෙන බව දැන දැනත් මග තොට
ඔට්ටපාළුව වගේ ජීවිත
රබර් පිහියට ඇඟේ කළුවර
තවත් ඔප ලයි දිදී මුවහත

තාම දහ අට උනත් තංගා
ගහේ කිරි ගැන දැනං උන්නා
කැහැටු පොත්තෙන් ලමැද හංගා
බාල්දියකට කිරිත් දුන්නා...!

No comments:

Post a Comment

අදහසක් දැක්වීමට යොදවන්නේ ඔබේ කාලයයි,ඔබ ලියනා දේ හා එහි වටිනාකම ගැන පළමුව සිතන්න,...,