Monday, February 9, 2015



වෛශ්‍යාවකගේ පැතුම

ස්කෑන් නොකරමි
_____________
කාමරය කළුවරය නැත රෑට එළියක්ද
දහවලට පමණි ඉර රෑට එහි සළකුණුද
අඳුර විමනක්ය මුත් මොනර කොළ නෙක පැහැද
නෙලාගත හැක ලිහා උතුරු සළුවේ සුවඳ


ඉපිල්ලෙන කිරි නහර පුඩු අඟට එක් වේද
මත් නිශාචර උරණ විට නොවන් මුසු පෑද
ලේ උනත් උරා බොන රුදු පිසාචර නාද
හළු කරන් එය මතින් සාදමියි කොත් සෑද

තුන් මසකි නාඳුනන ගැබ් ගෙලේ මල් සුවඳ
පොහොර වතුරද දමා රකිමි කටු නටු පත්ද
රෑට සැතපෙන සයන පාන්දර කර ඉද්ද
බුදු නමට පුදන්නෙමි පාත් කර කොඳු මැද්ද

වෙදෑදුරු දෙන තුන්ඩු ගන්නවද තව නැද්ද
ඉදිරියට නෙරන කුස පේනවද තව නැද්ද
අතගාන විට සළෙලු නාබියද බඩ මැද්ද
දඟලන්න එපා ඉවසනව නම් හොඳ නැද්ද

වකුටු වී කුස තුලේ නිදන්නට ඉඩ මදිද
දරන බර විටින් විට නුඹත් උහුලන වරද
සමාවක් නැතත් වෙන කරන්නට දෙයක් වෙද
ඉවසපන් අහස් කුස නැගෙන්නට පුරා හඳ

ඟඟුලක් වෙයන් සැම පව් සිත් දිය කරපන්
අවියක් වෙයන් හැම කෙලෙසුන් නැති කරපන්
සුළඟක් වෙයන් හැම රොඩු කුණු විසි කරපන්
බිරිඳක් වෙයන් හෙට දවසට ඉර තනපන්

chaminda paradeep silva gunarathne |ආලවක ආලිංගන |ස්කෑන් නොකරමි |2004 09 22|

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

4 comments:

  1. යකෝ මේව තේරුම් ගන්ඩ මං ඉස්කෝලේ ගියා මදිවත්ද

    ReplyDelete
    Replies
    1. තේරුම් යන්නැති...ඒ කොහොම උනත් මොනවා ලිව්වත් කියවලා අදහසක් දන්වන වැව් ඉස්මත්තට ස්තූතියි

      Delete
  2. හත්තිලව්වේ............................

    කවියක් නෙමෙයි මේක ගීතිකාවක්..... දෙයියනේ උඩින් තියෙන ඒකම ඒක කොමෙන්ටුව මේ මහන්සියේ පැත්තකටවත් අැති වෙයිද????? සමාවෙන්න මෙහෙම කියනවාට නිර්මාණය ඒ තරම් අගෙයි.........

    නිර්මාණය තුළ අැති ගුණාත්මක බව මාර වටිනවා... ජනතාව වෙනුවන් ලියන දේ තියෙන්නත් පුළුවන්.. ඒත් ගුණාත්මක බවක් නැති හරසුන් නිර්මාණයන් සීයකට වඩා මේක අපිට වටිනවා...... හරිම අගෙයි....

    //තුන් මසකි නාඳුනන ගැබ් ගෙලේ මල් සුවඳ
    පොහොර වතුරද දමා රකිමි කටු නටු පත්ද
    රෑට සැතපෙන සයන පාන්දර කර ඉද්ද
    බුදු නමට පුදන්නෙමි පාත් කර කොඳු මැද්ද//

    පද ගැලපීමම විතරක් නෙමෙයි මේ තුළින් නගන හඩ හරිම අගෙයි.... මේ ගැබ අැයට හරි වටිනවා... අැයට ඒක වදයක් නෙමෙයි.... ඒත් රස්සාව නවත්තන්නත් බැහැ.... සංවේදී සමාජ සංසිද්ධියක්... මිනිස්සු කෙල ගහන සිදුවීමක් ඔබ නිර්මාණයක් කරලා.. අග‍ෙයි...

    ඒ ගමන් අැය සමාජයෙන් ගැබ සගවන්නට උත්සහ ගැනීම සහ දරුවාට තමන්ගේ රස්සාව විසින් විදින්නට වන දුක ගැන අැය සංවේදීව කතා කිරීම හරිම අගේට පද ගැටගහලා තියෙනවා... නිර්මාණය අතිවිශිෂ්ටයි............

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර... මෙහි එකම කමෙන්ට් එකක්වත් නැතුව ඔබේ කමෙන්ට් එක විතරක් තිබුනා උනත් සෑහෙනවා..ඒක ඒ තරම්ම දැනුනා

      Delete

අදහසක් දැක්වීමට යොදවන්නේ ඔබේ කාලයයි,ඔබ ලියනා දේ හා එහි වටිනාකම ගැන පළමුව සිතන්න,...,